සිංහල සිසුන්ට දේශනවලට එන්නැයි ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 23, 2016

සිංහල සිසුන්ට දේශනවලට එන්නැයි ඉල්ලීමක්

සිංහල සිසුන්ට දේශනවලට එන්නැයි ඉල්ලීමක්
යාපනය විශ්ව විද්‍යාලයේ පීඨ කිහිපයක්ම යළි විවෘත කළ ද ප්‍රමාණවත් සිංහල ශිෂ්‍යාවන් පිරිසක් මෙතෙක් විශ්වවිද්‍යාලයට පැමිණ නොමැති නිසා දේශන කටයුතු හා විභාග කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී වසන්ති අරසරත්නම් මහත්මිය කියාසිටී.

දැනුම්දිය හැකි සෑම අයුරකින්ම සිංහල සිසුන්ට විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන මෙන් දැණුම්දී ඇතත් තවමත් ඔවුන් සැලකිය යුතු ප්‍රමාණයකින් පැමිණ නැති බවද උපකුලපතිවරිය සදහන් කරයි.

යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සිංහල සිසුන්ට විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන මෙන් ඉල්ලීම් කොට ඇත්තේ එම සිසුන්ගේ දෙමවුපියන් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් නිසි ආරක්ෂාවක් හා ඒ පිළිබද සහතිකයක් ලැබෙන තුරු තම දරුවන් යළි විශ්වවිද්‍යාලය වෙත නොයවන බවට ප්‍රකාශයක් කොට තිබෙන අතරතුරයි.

යාපනය විශ්වවිද්‍යාලය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය පහව යන තෙක් තම දරුවන්ට දකුණේ කිසියම් විශ්වවිද්‍යාලයකට තාවකාලිකව අනුයුක්ත වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන මෙන් ද සිසුන්ගේ දෙමවුපියන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලීමක් කොට තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් ඩී.සිල්වා මහතා ඊයේ (22) යාපනය විශ්ව විද්‍යාලයට ගොස් එහි පාලන අධිකාරිය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ද පාලන අධිකාරිය පෙන්වාදී ඇත්තේ ප්‍රමාණවත් සිංහල සිසුන් පිරිසක් පැමිණ නොමැති නිසා අධ්‍යයන කටයුතු හා විභාග කටයුතු කරගෙන යාමට නොහැකි බවයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ද මාධ්‍ය ඔස්සේ ඉල්ලීමක් කරමින් කියාසිටියේ යාපනය විශ්වවිද්‍යාලය නිසි ලෙස පවත්වාගෙන යාමට පාලන අධිකාරිය විසින් ගෙන යන ප්‍රයත්නයට සෙසු පිරිසගේ සහයෝගය ද ලබාදෙන ලෙසයි.

දිනසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad