ජනපතිගෙන් මැති ඇමතිවරුන්ට නියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

ජනපතිගෙන් මැති ඇමතිවරුන්ට නියෝගයක්

ජනපතිගෙන් මැති ඇමතිවරුන්ට නියෝගයක්පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ මෙන්ම ඔවුන් වෙනුවෙන් සලසා ඇති සුබසාධන කටයුතු පිළිබඳ සොයා බැලීමට සතියකට වරක්වත් එම ප‍්‍රදේශවල සංචාරයක නිරතවන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ දිස්ත‍්‍රික්කවල මැති ඇමතිවරුන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (01) කෑගල්ල නගර ශාලාවේ පැවති කෑගල්ල දිස්ති‍්‍රක් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. දිස්ති‍්‍රක්ක කිහිපයකට බලපෑ නාය යාම් හේතුවෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

කෑගල්ල දිස්ති‍්‍රක්කයේ සිදුවූ නාය යාම් හේතුවෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම වෙනුවෙන් කි‍්‍රයාත්මක වැඩසටහනේ ප‍්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසීය. අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම කඩිනමින් සිදු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා හැකිතරම් එම ජනතාව පදිංචිව සිටි ප‍්‍රදේශවලට ආසන්නයේම ඔවුන් නැවත පදිංචි කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද උපදෙස් දුන්නේය. එම ජනතාව පදිංචි වී සිටි ඉඩම් භෝග වගා කටයුතු සඳහා එම ජනතාවටම ලබාදීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

ඔවුන් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් හඳුනා ගැනීමේදී ඉඩම් අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම එම ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකිරීමේ දී ගුණාත්මක භාවයකින් සහ උසස් ප‍්‍රමිතියකින් යුතුව එම නිවාස ඉදිකිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා කමිටුවක් පිහිටුවා එහි වාර්තාව දින තුනක් ඇතුළත තමා වෙත ලබාදෙන ලෙස ද උපදෙස් දුන්නේය.

ආපදාවට ලක්වූ සියලු ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන නොඅඩුව දිස්ති‍්‍රක්කයට ලබාදෙන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා නිවාස, පාසල් සහ රෝහල් ඇතුළු අත්‍යාවශ්‍ය ඉදිකිරීම් සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහාය ලබා ගැනීම පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලයේ දී සම්මත කර ගන්නා බවද ප‍්‍රකාශ කළේය.

හානියට පත් ජීවනෝපාය මාර්ග නගා සිටුවීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් දිස්ති‍්‍රක්කයේ සුළු ව්‍යාපාරිකයින්ට වන්දි මුදලක් ලබාදීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

පීඩාවට පත්වූ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර අවදානම් ස්ථානවල පාසල් කඩිනමින් වෙනත් ස්ථානවල ස්ථානගත කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
අවදානමට ලක්වූ පවුල්වල දරුවන් සඳහා අදාළ අමාත්‍යාංශවල සහාය ඇතිව ඒකාබද්ධ මනෝ සමාජීය වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳවත්, අවදානමට ලක්වූ වැඩිහිටියන් වෙනුවෙන් ඒකාබද්ධ උපදේශන සේවාවන් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳවත් අවධානය යොමු කෙරිණි.

නාය යාම් තත්ත්වය හේතුවෙන් අඩාල වු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් කි‍්‍රයාත්මක යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර මාර්ග, ජලය, විදුලිය සහ සුළු වාරි මාර්ග සංවර්ධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

කෑගල්ල දිස්ත‍්‍රික්කය තුළ රජය කි‍්‍රයාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන්වල ප‍්‍රගතිය මෙන්ම ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, එස්.බී. දිසානායක, සජිත් පේ‍්‍රමදාස, රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් සහ කෑගල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් ද ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad