සිංහල හින්දු අළුත් අවුරුදු චාරිත‍්‍ර 2016 - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

සිංහල හින්දු අළුත් අවුරුදු චාරිත‍්‍ර 2016

නව සඳ බැලීම
2016 ක් වූ අපි‍්‍රයේල් මස 08 ව සිකුරාදා ද, මැයි මස 08 වන ඉරිදා ද නව සඳ බැලීම මැනවි.

පැරැන්නෝ හිරු මෙන් ම සඳ ද දේවත්වයෙන් පිදූහ. දිවා කාලයේ ආලෝකය ලබා දෙමින් ජීවයට පදනම දමන හිරු දෙවියන් මෙන් ම රාත්‍රී අහසේ බැබලෙමින් අලංකාර දසුන් මවන සඳ ද දෙවියන් ලෙස සැළකීමට පැරැන්නෝ පුරුදුව සිටියහ. සඳ සැබැවින්ම පෘථිවිය මත ජීවයේ අඩිතාලමයි. සඳ පෘථිවිය ආසන්නයේ නොතිබෙන්නට මිහිතලය මත ජීවය ආරම්භ නොවන බව අද විද්‍යාඥයෝ කියති.

අතීත සිංහලයෝ සඳ යනු සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සැළකූහ. සඳ පෙනෙන ආකාරය අනුව ඔවුහු දින දර්ශන පවා සෑදූහ. නැක්ත ශාස්ත්‍ර සිදුකැරුණේ ද සඳෙහි හැසිරීම අනුවය. ඒ හේතුවෙන් ම සඳ ඔවුන්ට වැදගත් සංකේතයකි. පොහොය ලැබීම හා ගෙවී යාමත් අස්වනු හට ගැනීම හා ඒවායේ ඵල දාව අඩු වැඩි වන ආකාරයත් හඳේ හැසිරීම අනුව සිදුවන බව වටහාගත් පැරැන්නෝ සිංහල අලුත් අවුරුදු උත්සවයේ දී ද හඳට කලගුණ සැළකිමට පුරුදුව සිටියහ.

පුරා වසරක් තමන් සමග සිටි සඳ දෙවියන්ට කළගුණ සැළකීමේ අරමුණෙන් සිංහල අලුත් අවුරුද්ද ආරම්භයේ දී ම පරණ අවුරුද්ද සඳහා සඳ බැලීමේ චාරිත්‍රය සිදුකළහ. ඉන් පසු අලුත් අවුරුදු උදාවූ විට නැවත අලුත් අවුරුද්ද වෙනුවෙන් සඳ බැලීම නියමිත දිනයකට සිදුකරයි. පළමුවෙන් අවුරුදු හඳ දැක්ක අයෙක් ‘‘හූ“  කීම සිරිතකි. හඳ බලා හකුරු සමග පොල් ඉරි කෑම ද අතීතයේ ගැමියෝ සිදුකළහ.

සඳ බැලීම හිරු දෙවියන් පිදීම වැනි ම පැරණි චාරිත්‍රයකි. පැරණි ග්‍රීකයෝ සෑම පුන් පොහෝ දිනක ම සඳ දෙවි පිදීම සඳහා ගවයන් දෙදෙනකු බැටළුවකු සහ එළුවකු බිලි දුන් වගක් ද සඳහන් වේ. ඉන්දියාවේ ජෛනයින් අතර ද නව සඳ බැලිමේ උත්සව හතරක් පවතී.

අප්‍රේල් මාසයට යෙදී තිබෙන්නේ ප්‍රණීමා නමැති නව සඳ බැලීමේ උත්සවයයි. ඕස්ට්‍රේලියාවේ බ්‍රෂ්මන්වරු ඇතැම් අප්‍රිකානු ගෝත්‍රිකයෝ සහ හීබෘවරු සඳ උදාව ඇසුරු කරගෙන දින දර්ශන නිපදවූහ. සෑම ජාතියක් විසින් ම නව සඳ උදාව නැකතට නැරඹීමෙන් අපේක්ෂා කර ඇත්තේ සෞභාග්‍යය ලබා ගැනීමයි. සඳ සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සළකති.

පරණ අවුරුද්ද සඳහා ස්නානය
අපි‍්‍රයේල් මස 13 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

පරණ අවුරුද්දේ සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිය ස්නානය කිරීමෙ චාරිත්‍රයක් පුරාණයේ සිට පැවත එයි. ගැමියන් පවසන්නේ පරණ අවුරුද්දේ සියළු කිලිටි සෝදා හැර අලුත් අවුරුද්දට අලුත් වන බවයි.

එදා අප ගැමියන් හැම දේම කළේ නැකතට අනුවය. සිංහල අලුත් අවුරුදු නැකත් ආරම්භ වන්නේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රයෙනි. අලුත් අවුරුද්ද සඳහා නානු ගා ස්නානය කිරිමේ චාරිත්‍රය වෙනම ඇත.

පරණ අවුරුද්ද හා අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුවන ස්නානය සඳහා නානු ගෑම සිදුකරනු ලබයි. අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස පිරිසිදු කර ගැනීමට මෙන් ම අසනීප දුරු කර ගැනීමටත් කටවහ, ඇස්වහ දෝෂ හා ග්‍රහ දෝෂ දුරුකර ගැනීමටත් මෙය කළ බව පැරණි මතයයි.

මේ සඳහා නානු පිළියෙල කරන්නේ පුරාණ ඖෂධ වට්ටෝරු අනුවය. එසේ සාදනු ලබන නානු අට විසි පිරිතෙන් විසි එක් වරක් පිරිත් කර ගැනීම ද ඇතැම් අය සිදු කරති. ඉන් තවදුරටත් සෙත් ශාන්තිය අපේක්ෂා කරයි.

අලුත් අවුරුදු උදාව
අපි‍්‍රයේල් මස 13 වන බදාදා අපර භාග 07.48 ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම

සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක යෙදෙමින් පෘථිවිය එක් වටයක් සම්පූර්ණ කිරීමට දවස් 365.25ක කාලයක් ගත කරයි. මෙම ගමන සිදුවන්නා වූ කක්ෂය අනෙකුත් ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරන කක්ෂයන් සමග එකම තලයක පිහිටා තිබේ.

නක්ෂත්‍රයට අනුව සූර්යයා වටා සම්පූර්ණ වටයක් පෘථිවිය ගමන් ගන්නා විට පසුබිමෙහි තාරකා මණ්ඩල 12ක් පිහිටා ඇතග දළ වශයෙන් එක් තරාකා මන්ඩලයක් සඳහා අංශක 30ක ආකාශ කොටසක් වෙන් කළ විට සම්පූර්ණ වටයට ඇති අංශක 360 සම්පූර්ණ වෙයි. සූර්යයා දෙස පෘථිවියේ සිට බලන විට සූර්යයාගේ පසුබිමෙන් මේ තාරකා මණ්ඩල පිහිටන බැවින් නක්ෂත්‍රයේ දී පවසන්නේ එම තාරකා මණ්ඩලය තුළ හිරු පිහිටි බවයි.

නමුත් සිදුවන්නේ සූර්යයා ගමන් කිරිම නොව පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීමයි. පෘථිවිය දිනකට එක් අංශකයක් සූර්යයා වටා ගමන් කරන අතර දළ වශයෙන් මසක දී එක් රාශියක ඇති අංශක 30ක අවකාශය ගෙවා දමනු ලබයි.

සිංහල අලුත් අවුරුද්ද යනුවෙන් අප හඳුන්වන්නේ පෘතිවියේ සිට බලන විට සූර්යයා පෙනෙන පසුබිම මීන තාරකා මණ්ඩලයේ සිට මේෂ තාරකා මණ්ඩලය දක්වා වෙනස්වන අවස්ථාවයි. එනම් සිංහල අලුත් අවුරුද්ද උදාවීම යනු මීන රාශියේ තිස්වන අංශකය පසු කර මේෂ රාශියේ පළමුවන අංශකය පසුබිමෙහි ඇතිව සූර්යයා දර්ශනය වන අවස්ථාවයි.  සාමාන්‍යයෙන් මෙය සෑම වසරක ම අප්‍රේල් මාසයේ 13 හෝ 14 දින දෙකෙන් එකක දී සිදුවෙයි.

පුණ්‍ය කාලය
අපි‍්‍රයේල් මස 13 වන බදාදා සවස 01.24 සිට 14 වන බ‍්‍රහස්පතින්දා පූර්වභාග 02.12 දක්වා පුණ්‍ය කාලය බැවින් අපි‍්‍රයේල් මස 13 වන බදාදා දින සවස 01.24 ට පළමුව ආහාර පාන ගෙන සියලූ වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 13 වන දින රාතී‍්‍ර 07.48 සිට 14 වන බ‍්‍රහස්පතින්දා පූර්වභාග 02.12 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත‍්‍ර ඉටු කිරීම මැනවි.

සෑම මිනිසකු වෙනුවෙන් ම ඉෂ්ට දේවතාවකු සිටින බවත් රැකවරණය ලැබෙන්නේ මේ ඉටු දෙවියන්ගෙන් බවත් අතිත පෙරදිග වැසියෝ විශ්වාස කළහ. මේ ඉටු දෙවියන් සිහිකර තමන්ට රැකවරණය දීම වෙනුවෙන් පින් පෙත් පැමිණවීම ඉෂ්ඨදේවතානුස්මරණය යනුවෙන් හඳුන්වයි.

හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන වේලාව උග්‍ර ග්‍රහ බලවේගයක් ඇති වන වේලාවකි. මෙම බලවේගයට මුහුණ දී සිටීමට ඉටු දෙවියන් වැනි අල්පේශාක්‍ය දෙවියන්ට තබා මහේශාක්‍ය දෙවියන්ට ද නොහැකිය. එබැවින් මේ අවස්ථාව වනවිට දෙවියන් මිනිස් ලොව සමග තිබූ සිය සබඳකම් අත්හැර තම තමන් සතු දෙව් විමන්වලට වී සිටින්නේයැයි අතීත විශ්වාසයයි.

යළි ඔවුන් මිනිස් ලොව දෙවස බලන්නේ පෙර කී ග්‍රහ බලය අවසන් වූ පසුවය. මිනිසාට තමාගේ ඉටු දෙවියන් නැවත තමන් වෙත කැඳවා ගත හැක්කේ ද ඉන් පසුවය. දෙවියන්ගේ බැල්ම නොලැබෙන කාලය නොනගතය හෙවත් පුණ්‍ය කාලය ලෙස සැළකීමට පැරැන්නෝ කටයුතු කළහ.
 
මේ නිසා ඉටු දෙවියන්ගේ රැකවරණය නැතිව ගත වන කෙටි කාලයක් වූ නොනගත කාලයේ දී ආගමික වතාවත්වල නිරතවන ලෙස උපදෙස් දී ඇත. ආගමික කටයුතු වල යෙදී සිටින අවස්ථාන්හි දී මිනිසාගේ සිත නරකට යොමු නොවන බැවින් ඉෂ්ට දේවතාවාගේ රැකවරණය අහිමි මේ කෙටි කාලයේ දී අතුරු ආන්තරාවක් නොවන බව පැරැන්නන්ගේ විශ්වාසය විය.

ආහාර පිසීම
අපි‍්‍රයේල් මස 13 වන බදාදා රාතී‍්‍ර 08.06 ට කොළ පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප බැඳ ගිනි මොලවා ගිතෙල් මිශ‍්‍ර කිරි බතක් සහ මුං ඇට මිශ‍්‍ර කැවිලි ආහාරයක් පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අපි‍්‍රයෙල් මස 13 වන බදාදා රාතී‍්‍ර 08.54 ට කොළ පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

සිංහල අලුත් අවුරුද්දේ වැදගත් ම චාරිත්‍රයක් වන්නේ ලිප් බැඳ නැකතට ලිප ගිණි මෙලවීමයි. ඉදිරි වර්ෂයේ දී ගෙදර ආහාර පානයෙන් අඩු පාඩුවක් නැතිව තිබිමට මෙන් ම ගෙදර අර පරෙස්සම් ආදිය ඇතිවිම සඳහා ලිප් බැඳ ගිනි මෙලවීම නැකතට සිදුකරනු ලබයයි.

මෙය ඒ ඒ වසර යෙදී ඇති සුබ මුහුර්තිය අනුව සිදුකෙරේ. ඒ සඳහා වේලාව මෙන්ම බැලීමට සුදුසු දිශාව ද ඇඳීමට සුදුසු වස්ත්‍රාභරණ වර්ණය ද නිමය කරනු ලැබේ. සෑම විටකම සිදුකරන්නේ කිරි බතක් පිළියෙල කිරීමයි. කලාතුරකින් තැනක කිරි ඉතිරවීම සිදුකෙරේය. බොහෝ විට හින්දු ලබ්ධිකයෝ කිරි උතුරුවති. කිරිබත ගිතෙල්, උඳු, මුං, තල ආදී එක් වර්ගයක් හෝ වර්ග කිහිපයක් මිශ්‍ර කර හෝ බත් පමණක් යොදා හෝ සාදනු ලැබේ.

ඇතැම් විට උක් හකුරු, කිතුල් හකුරු යෙදීම ද සිදුකරයි. නිවසේ ගෘහණිය විසින් නැකතට ලිප් ගිනි මොලවා පිළියෙල කරන කිරිබත ආහාර අනුභව කරන නැකතට මේසය මතට එන්නේ උණු උනුවේය. ආහාර අනුභව කිරීමේ නැකත උදාවීමත් සමග ගෙදර වැඩිමහල් පිරිමියා (පියා) මේසය මත පහනක් දල්වා පහනට බත් පිඬක් තබා අනතුරුව නිවසේ සැමට කිරිබත් පිඬ බැගින් කවා ආහාර අනුභවය සිදුකරයි. ඉන් අනතුරුව පවුලේ සැවොම එකට සිට අලුත් අවුරුද්ද සඳහා පළමු ආහාරය අනුභව කරති.

මේ කෑම මේසය කිරිබත් මෙන්ම කැවිළි පෙවිළි වලින් ද කෙසෙල් වැනි පළතුරු වලින් ද සමන්විත ස්ථානයකි. ඉන් අනතුරුව සිදුවන්නේ වැඩ ඇල්ලීම හා ගනු දෙනු කිරීමයි. මෙහිදී පැරැන්නෝ කැත්තකින් කිරි ගසක අත්තක් කපා වැඩ ඇල්ලීම සිදුකළහ. අලුත් අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලාම ගසක කිරි දැකිම වසරේ සෞභාග්‍යයට හේතුවක් බව පැරැන්නන්ගේ විශ්වාසය විය. ඇතැම් අය තම ගොවි උපකරණ ගෙන කුඹුරට ගොස් කුඹුරේ වැඩ කරමින් නව වසර සඳහා වැඩ ආරම්භ කිරීම කරති.

පාසල් යන දරුවෝ අවුරුදු උදාවත් සමග පොත්පත්වල වැඩ කරමින් වැඩ අල්ලති.  ගනු දෙනු කිරීම ද නියම වේලාවට තමාට විශ්වාස තමාට වඩා ආර්ථිකයෙන් ශක්තිමත් පවුලට හිතවත් අයකු සමග සිදුකරයි. දැන් සිදුවන්නේ එවැනි තැනැත්තකුට අලුත් අවුරුද්දේ මුලින්ම තම නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරයි. ඔහු පැමිණි පසු ඔහුත් පවුලේ මූලිකයාත් අතර වසරේ පළමු ගනුදෙනුව සිදුකරයි. මෙය දැන් ව්‍යාපාරික ස්ථානවල ද බොහෝ විට සිදුවෙයි. තමන්ට වඩාත් හිතවත් හා ආර්ථික අතින් ශක්තිමත් පුද්ගලයකු ට වසරේ පළමු ව්‍යාපාරික ගනුදෙනුව සිදුකිරීම බොහෝ දෙනකුගේ සිරිතය.

කුණු මුත්තා පිදීම

සිංහල අලුත් අවුරුද්දේ කෙරුණු චාරිත්‍රයකි කුණු මුත්තා පිදීම. එහෙත් දැන් එම චාරිත්‍රය දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. කුණුමුත්තා පිදීම චාරිත්‍රයක් වුව ද එක්තරා පූජාවකි. විශේෂයෙන් සත් කෝරළයේ මෙම පූජාව පැවතිණි. සිංහල අලුත් අවුරුදු දිනයේ පාන්දර ඉඳිකොළ ඉලපතෙන් ගේ අතු ගා ගන්නා සියළු කුණු ඒ වසරේ පාවිච්චි කළ කුල්ලට දමයි.

අවුරුදු දා උයන පිහන බත්, වෑංජන හා කැවිලි පෙවිලි වට්ටියකට දමා කුල්ලේ කුණු මත තැන්පත් කොට වත්තේ කෙළවරක කැලෑවක තැන්පත් කරයි. අවුරුද්ද මුළුල්ලේ ගේ අතු ගෑ ඉලපත ද එහි තබනු ලැබේ. බත් සමග බුලත් විටක් ද, කාසියක් ද, ඇතැම් විටෙක තැඹිලි ගෙඩියක් හා හැලි අරක්කු වීදරුවක් ද පිදේ.පැරැන්නන්ගේ විශ්වාසය වූයේ නිවස පිරිසිදුව තබා ගැනීමට කුණු මුත්තාට මේ පූජාව පැවැත්වීම හේතුවක් වන බවයි.

ළිඳ සමග ගනුදෙනු කිරීම

සිංහල අලුත් අවුරුදු උළෙලේ චාරිත්‍ර අතර ගැමියන් තවමත් ඉටුකරන අපූරු චාරිත්‍රයක් වන්නේ ළිඳ සමග ගනු දෙනු කිරීමයි. වසරක් මුළුල්ලේ නැවැසියන්ට පානීය ජලය ලබා දුන් ළිඳට නැවුම් බව ලබා දෙමින් කෘත ගුණ දැක්වීමක් ලෙස මේ කාර්යය සිදුකරන බව පැරැන්නන්ගේ මතය විය. නොනගතය හෙවත් පුණ්‍ය කාලය උදාවීමට පෙර පරණ අවුරුද්දේ කා බී සියළු වැඩ අතහැර ආගමික කටයුතුවල පමණක් යෙදීම ගැමි සිරිතයි. ගැමියෝ මේ කාලයේ දී ළිඳෙන් වතුර බිඳක් හෝ ගන්නේ නැත.

ඔවුහු ළිඳට ද විවේකයක් ලබා දෙති. අනතුරුව අවුරුදු උදාවී කා බී වැඩ ඇල්ලීමෙන් අනතුරුව ගෙදර ගෘහණිය විසින් සිදුකරන ප්‍රධානත ම කාර්යය වන්නේ ළිඳ සමග ගනුදෙනු කිරීමයි. එහිදී කුළුබඩු කිහිපයක් සමග සාදා ගත් අළෙවි පොට්ටනියක් තඹ කාසියක් ද සහිතව අඟුරු කැබැල්ලක් හා මල් කිහිපයක් ද සමග ළිඳට දමයි. ඉන් පසු ළිඳට වැද සමාචාර පවත්වා අලුත් අවුරුද්දේ මුල්ම වතුර පනිට්ටුව මහත් ගෞරවයෙන් ගනී. මේ වතුරෙන් පිරිසිදු වතුර බෝතලයක් පුරවා එහි මූඩිය වසා බෝතලයේ පඬුරක් ගැටගසනු ලබයි. මේ වතුර බෝතලය යළි විවෘත කරන්නේ ඊට පසු අවුරුද්දේ ළිඳ සමග ගනුදෙනු කිරීමටය.

එවිට බෝතලයේ වතුර අඩුවී තිබේනම් ගත වූ වසර නිවසේ ආර්ථිකය එතරම් යහපත් නැතැයි යන්නට එය සංකේතයක් යැයි ගැමියෝ විශ්වාස කළහ. පර්යේෂකයන් පවසන්නේ අඟුරු කැබැල්ලක් ළිඳට යෙදීම ජලයේ පිරිසිදු බවට ඉවහල්වන බවයි. එමෙන් ම ජලයට එක්කරන තඹ කාසිය වසරක් මුළුල්ලේ ජලයට තඹ ලෝහය එක්කරමින් අත්‍යාවශ්‍ය කාර්යයක් ඉටුකරන බව ද ඔවුන්ගේ මතය වී ඇත. ඒ අනුව විද්‍යානුකූලව ද ළිඳ සමග ගනුදෙනු කිරිමේ විද්‍යාත්මක වටිනාකමක් ද තිබේ.

හිසතෙල් ගෑම
අපි‍්‍රයෙල් මස 16 වන සෙනසුරාදා දහවල් 10.41 ට නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී බටහිර දිශාව බලා හිසට නුගපත්ද, පයට කරඳපත්ද තබා නුගපත් මිශ‍්‍ර නානුද තල තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.

රැකිරක්ෂා සදහා පිටත්ව යැම
අපි‍්‍රයේල් මස 18 වන සඳුදා උදේ 06.27 ට සුදු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ‍්‍ර කිරි බත් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.

No comments:

Post a Comment

Post Bottom Ad