වරාය සේවකයින් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඇමති අර්ජුණ රණතුංගගේ මාධ්‍ය ලේකම් තමීර මංජු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වරාය විනාශ කිරීමට වෙර දරන මුගටි මිතුරු කැලට ඉඩ නොදෙන ලෙසයි.
ඔහු විසින් නිකුත් කර ඇති සම්පුර්ණ නිවේදනය මෙසේය.
මේ වනවිට බෝනස් මුදල වැඩි කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රසන්න – උදේනි ඇතුළු පිරිසක් දියත් කර ඇත්තේ පෞද්ගලික අභිමතාර්ථ පදනම් කරගත් කූට ව්‍යාපෘතියක් බව අවධාරණය කරමි. සැබෑ ලෙසම ඉල්ලා සිටි වරප්‍රසාද සහ මුදල් ඉපයීමේ මාර්ග අහිමිවීමෙන් වියරු වැටුණු ඔවුන් අද ක්‍රියාත්මක කරමින් සිටින්නේ සේවක අයිතිවාසිකම් දිනාගැනීමේ වෘත්තීය අරගලයක් නොවේ.
ඔවුන්ට අද අවශ්‍යව ඇත්තේ ජාතියේ හදවත වූ වරාය අඩපණ කර, තර්ජනාංගුලි එල්ල කර, කෙසේ හෝ තම වරප්‍රසාද සහ මුදල් ඉපයීමේ මාර්ග විවෘත කර ගැනීමයි. වරාය වෘත්තීය සමිති ව්‍යාපාරයේ නායකයින් ලෙස පෙනී සිටින ප්‍රසන්න – උදේනි නයි මුගටි මිතුරු කැල ශුද්ධවන්ත චරිත නොවෙති. මූල්‍ය අක්‍රමිකතා සිදු කිරීම ගැන මෙන්ම වරාය අධිකාරියට අගෞරව කිරීම, අපහාස කිරීම වැනි චෝදනා මත ඔවුන්ට එරෙහිව විවිධ විමර්ශන පවත්වා ඇත.
අදටත් එවැනි විමර්ශන පැවැත්වේ. රාජපක්ෂ පාලනය පැවැති සමයේදී එවකට සිටි පාලකයින් සමඟ හොර රහසේ ඩීල්දමා වරාය අධිකාරිය අද මුහුණ දෙන වත්මන් අර්බුදයට පත්කළේද මේ නයි මුගටි මිතුරු කැලයි. අදත් ඔවුන් සිදුකරමින් සිටින්නේ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින බවට අඟවමින් සේවකයින් ඉදිරියට දමා පෙර පරිදිම තම පෞද්ගලික ඉල්ලීම් ඉටු කර ගැනීම වේ.
එමෙන්ම වරාය අඩපණ කර එය පෞද්ගලීකරණය කිරීම සඳහා පාර කැපීමේ කොන්ත්‍රාත්තුවක් ප්‍රසන්න – උදේනි ඇතුළු පිරිස සිදු කරන්නේදැයි යන සැකයද මෙහිදී පැන නඟී. එම සැකය වඩාත් තහවුරු වන්නේ මේ පිරිස් මීටපෙරද වරාය පෞද්ගලීකරණය කිරීම සඳහා දැක්වූ උන්නදුව ගැන කවුරුත් දන්නා නිසාය.
එදා යහපාලනය ඇති කළ දා සිටම මේ පිරිස උත්සාහ කළේ වරාය පරිශ්‍රයේ අශුද්ධ බලයක් ගොඩ නඟා ගැනීමටයි. ඒ සඳහා ප්‍රසන්නට සහ උදේනිට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුර ලබා දෙන ලෙසට ඉල්ලීම් පිට ඉල්ලීම් කෙරිණ. ගාලුමුවදොර වරාය පරිශ්‍රය මෙහෙයුම් තමන්ට හෝ තම හිතමිතුරන්ට ලබා දෙන ලෙසට මේ පිරිස් වාචිකව මෙන්ම ලිඛිතවද ඉල්ලා සිටියේය.
උදේනි කළුතන්ත්‍රි ලිඛිතවම ඉල්ලා සිටියේ තම හිතවතුන්ගේ ප්‍රයිමුවර් රථ සඳහා වරාය ප්‍රවේශපත්‍ර ලබා දෙන ලෙසයි. වරාය පිටත බිත්තිය දැන්වීම්වලට විකිණීමටද, වරායෙහි යකඩ, අබිලි ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය විකිණීමේ කොන්ත්‍රාත්තුව තමන්ට ලබා දෙන ලෙසටද මේ පිරිස් වාචිකව සහ ලිඛිතව ඉල්ලා සිටියේය. ඔවුන්ගේ අරමුණ වූයේ තම හිතවතුන්ට තම අභිමතය පරිදි උසස් වීම් ලබා දෙමින්, ස්ථාන මාරුවීම් ලබා දෙමින්, දේශපාලන පලිගැනීම් සිදු කරමින් රාජපක්ෂ ක්‍රමයක් නැවත ඇති කිරීමයි.
ඒ සඳහා අවස්ථාව නොලැබුණු විට අද මේ නයි මුගටි මිතුරු කැල ඊට එරෙහි වූවන්නට ද්වේශ සහගතව මඩ ගසමින් සිටී. වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා අරගල කිරීමේ කිසිඳු වරදක් නැත. නමුත් ඒ සඳහා තාර්කික පදනමක් තිබිය යුතුය. එසේ නොකොට වෛරයෙන් සහ ක්‍රෝධයෙන් යුතුව “ඇමතිගේ නිවස හදන්න මිලියන 50ක් වැය කළා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අර කාන්තාව ඉන්නවා, මේ කාන්තාව ඉන්නවා….” යැයි කීම යුක්ති සහගත නොවේ.
මේ කරන චෝදනාවල හෝ ප්‍රකාශවල සත්‍යාව තහවුරු කිරීම සඳහා කිසියම් හෝ සාක්ෂියක් ඇත්දැයි මේ මිතුරු කැලගෙන් විමසන ලෙසද සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි. නමුත් ඔවුන්ට එරෙහිව ඇති සියලු චෝදනා සනාථ කිරීමට ලිඛිත සාක්ෂි ඇති බව අවධාරණය කරමි.
ඉතා පැහැදිලිව වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ නාමපුවරුවට මුවා වී තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කිරීම සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම හෑල්ලුවට ලක් කිරීමකි. එවැන්නක් කිරීමට ප්‍රසන්න – උදේනි නයි මුගටි කැලට ඉඩ නොදෙන ලෙසට සියලු වෘත්තීය සමිති මව් සංගම්වලින් ඉල්ලා සිටිමි. ඔවුන් දෙදෙනා වහාම වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් ඉවත් කරන ලෙසටද ජනපති – අගමැතිතුමා ඇතුළු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.
– තමීර මංජු
Monday, April 11, 2016
වරාය වැහුවත් අර්ජුන හිස නොනමයි.. වෘත්තීය සමිති නායකයින්ට චෝදනා තොගයක් ගොනු කරයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment