ජැක්සන්ගේ මාලිගාව ඉවත් කර ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

ජැක්සන්ගේ මාලිගාව ඉවත් කර ගනී

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය පසුබිම් කරගෙන ටෙලි නාට්‍ය නිර්මාණයක් සඳහා රජ මාලිගයක් පිළිබිඹු කරමින් ඉදිකළ පසුතල, ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගැනීමට එම නිෂ්පාදන කණ්ඩායම ඊයේ (22) පියවර ගෙන තිබේ.

මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ කමල් රත්වත්ත මහතා සහ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් හමුවේ මෙය සිදු කෙරිණ. 
ප්‍රවීණ සිනමාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ 'සීගිරි කාශ්‍යප’ ටෙලි නාට්‍යයේ කාශ්‍යප රජුගේ මාලිගයේ පිවිසුම ලෙස මහ සමන් දේවාලයේ පහළ මළුවේ පසුතල නිර්මාණ සැකසීම මීට දින කිහිපයකට ඉහත දී ආරම්භ කර තිබේ.

එම පසුතල නිර්මාණ හේතුවෙන් සබරගමු මහ සමන් දේවාලයේ ඓතිහාසිකත්වයට මෙන්ම ජනතාවගේ ගෞරවනීය බවට විශාල හානියක් සිදුවන බව දේවාලයේ රාජකාරී කපු මහත්වරුන්ගේ ද, වෙනත් රාජකාරීකරුවන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද අදහස විය.
සබරගමු මහ සමන් දේවාලය පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානයක් ලෙස නම් කර තිබේ. 

මෙම පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානය පසුබිම් කරගෙන ටෙලි නාට්‍යයක් රූගත කිරීමට අවසර ගෙන නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ තත්ත්වය හමුවේ රාජකාරීකරුවන් සහ ප්‍රදේශවාසීන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතා හමුවේ මේ ගැටලුව ඉදිරිපත් කළේ ය. 

ඒ අනුව චිත‍්‍රපටි නිෂ්පාදකයන්, බස්නායක නිලමේවරයා සහ විජේතුංග මන්ත්‍රීවරයා ඇතුළු නියෝජිතයෝ ද, පුරාවිද්‍යා නිලධාරීහු ද ඊයේ (22) රත්නපුර මහ සමන් දේවාලයේ දී සුහද සාකච්ඡාවක් පැවැත් වීය. ''සමන් දේවාලේ කැටලියන්පල්ලේ කපුමහතා ඇතුළු කණ්ඩායමත්, ගමේ අයත් දේවාල භූමියේ තැනූ පසුතල නිර්මාණ හේතුවෙන් සමන් දේවාලයේ පෞරාණික බවට, පූජනීය බවට හානියක් වෙලා තියනවා කියන කාරණය දිගින් දිගටම මට පෙන්වා දුන්නා. 

ලක්ෂ ගණනක්  බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ පූජනීය ස්ථානයක් මේ ආකාරයට විකෘති කිරීමට ඒ අය සම්පුර්ණයෙන්ම විරුද්ධ බව පැවසුවා. පසුතල ඉවත් කරලා රූගත කිරීමකට ඒ අය විරුද්ධ නෑ. නමුත් ඒ අය සමන් දේවාලයේ අනන්‍යතාව නැතිවන ආකාරයේ පසුතල නිර්මාණයක් යොදා ගැනීම පිළිබඳ බලවත් විරෝධය පළ කළා. 

මම ඒ සාකච්ඡාවේ දී නිල පංගුකරුවන්ගේ සහ ගම්වාසීන්ගේ විරෝධය ඒ අයට දැනුම් දුන්නා. මම කළේ මැදිහත්කරුවෙකුගේ භූමිකාව පමණයි'' යනුවෙන් ඒ.ඒ. විජේතුංග මන්ත්‍රීවරයා පැවසී ය. ''සමන් දේවාලයේ පහළ මළුවට ඇතුළුවන ස්ථානයේ වාහල්කඩ වැසෙන ආකාරයේ වෙනත් පසුතල නිර්මාණ කරලා තිබුණා. ඒවාගේ දේවල්වලින් මහ සමන් දේවාලයේ අභිමානය නැතිවන බව ජනතාවගේ අදහස වුණා. 

පස්සෙ සාකච්ඡාවල දී පසුතල ඉදිකිරීම් ඉවත් කරගන්න ඒ අය කැමති වුණා. අවශ්‍ය නම් ගඟ පැත්තෙන් අවශ්‍ය රූගත කිරීම් කර ගන්නවාට විරෝධයක් නැති බවත් දැනුම් දුන්නා. කිසිම ගැටුමකින්, මත භේදයකින් තොරව සාමයෙන් එකඟත්වයෙන් ප්‍රශ්නය විසඳුණා' යනුවෙන් විජේතුංග මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මෙම සාකච්ඡාවට ප්‍රවීණ සිනමාවේ දී ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු සිනමා නිෂ්පාදක කණ්ඩායම ද, රත්නපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ලක්ෂ්මන් මුණසිංහ යන මහත්වරු ද එක් ව සිටියහ. 

No comments:

Post a Comment

Post Bottom Ad