ශ්‍රීලනිපය දෙදරයි? පක්ෂය කඩන අය සමග සාකච්ඡාවකට ජනපති එකඟවෙයි (VIDEO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

ශ්‍රීලනිපය දෙදරයි? පක්ෂය කඩන අය සමග සාකච්ඡාවකට ජනපති එකඟවෙයි (VIDEO) 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිළ නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. 

ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එක්ව සිටියහ. අභ්‍යන්තර කරුණු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති බවත් ශ්‍රීලනිපය බෙදන්න හදන අයත් සමග සාකච්ඡා කර විසදුමක් ගන්නා බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසී ය.

මේ අතර කොළඹ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ ප්‍රයත්නයක නිරත වන මන්ත්‍රීවරු තිදෙනෙකු පිළිබඳව හෙළිදරව්වක් සිදු කළේය.  

නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ උත්සාහයේ යෙදී සිටින්නේ ශ්‍රීලනිපයේ අය නොවන බවත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රිවරුන් ශ්‍රීලනිපය දෙකඩ කරන බවත් අතාවුද සෙනෙවිරත්න හිටපු අමාත්‍යවරයා පැවසී ය. 

මෙම මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය සමඟ රහසිගතව කටයුතු කරමින් ඇතැම් පිරිස් නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ ඞීල් එකක කටයුතු කරන බවයි. 

කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණේ නව පක්ෂ මූලස්ථානය විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (21) පැවති උත්සවයකදී එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා පැවසූවේ ‘‘වික‍්‍රමසිංහ මහත්තයාට අගමැතිකම හදලා දීලා, ආණ්ඩුවක් හදලා දීලා වික‍්‍රමසිංහ මහත්තයා සමග එක සයනයේ සැතපෙන අය, අපට චෝදනා කරනවා ‘රනිල්ගේ කොන්ත‍්‍රාත් ඉටු කරනවා’ කියලා. වික‍්‍රමසිංහ මහත්තයාගේ හෝ සිරිසේන මහත්තයාගේ කොන්ත‍්‍රාත් ඉටු කරන අය නොවෙයි අපි. අපි දන්නවා, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැඩුවේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව.“ යැයි ඔහු අවධාරණය කළේය.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරියේදී නිර්මාණය කිරීමට සැරසෙන නව පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එහි නායකත්වය ලබාදිය යුතු බවට දැනට සිදුකෙරුණු සාකච්ඡාවලදී අවධානය යොමුවී තිබෙන අතර, යම් හෙයකින් ඒ මහතා එය ප්‍රතික්ෂේප කළහොත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එම නායකත්වය ලබාදිය යුතු බවට යෝජනා වී තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad