වරාය ව්‍යාපෘතියේ ආයෝජන කරන්නැයි අගමැතිගෙන් චීනයට ආරාධනා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 21, 2016

වරාය ව්‍යාපෘතියේ ආයෝජන කරන්නැයි අගමැතිගෙන් චීනයට ආරාධනා (VIDEO)

කොළඹ වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක බැවින් චීන ආයෝජකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලෝක ආර්ථික සමුළුවේ මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇරයුම් කර තිබේ.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝකයේ මහා පරිමාණ වෙළෙඳ සමාගම් රැසක ප්‍රධානීන් අතර හමුවක් ද අද (21) පැවැත් විය. ශ්‍රී ලංකාව තුළ 2016 වසරේ දී මහා පරිමාණ ආයෝජන සඳහා හැකි ඉක්මනින් අවතීර්ණවීමට එහි දී අදාළ සමාගම්වල ප්‍රධානීන් කැමැත්ත පළ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.  

ලෝක නායකයින් රැසක් ඇතුළු ආර්ථික විශේෂඥයින් 2000කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් 46 වැනි ලෝක ආර්ථික සමුළුව ස්විට්සර්ලන්තයේ - ඩාවෝස් නුවර දී ඊයේ (20) ආරම්භ විය. විශේෂ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගි වී සිටින අතර මෙරට නායකයෙකු ලෝක ආර්ථික සමුළුවට එක් වූ පළමු අවස්ථාව මෙයවීම ද විශේෂත්වයකි. 

අග්‍රාමාත්‍යවරයා අද හමු වූ ලෝක ප්‍රකට වෙළඳ සමාගම් ප්‍රධානීන් අතර ටාටා සමාගමේ ප්‍රධානී සයිරස් මිස්ටි‍්‍ර, නෙදර්ලන්තයේ පිලිප් ලයිටින් සොලූෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙන්ම බහරේන් පෙට්ට්‍රෝලියම් සමාගමේ සභාපතිවරයා ද සිටී. 

සමුළුව අතරතුර දී ස්වීඩන් අග්‍රාමාත්‍ය ස්ටෙෆන් ලෝෆ්වන් සහ තුර්කි අග්‍රාමාත්‍ය අහමට් දාවොදොග්ලූ සමග ද අග්‍රාමාත්‍යවරයා ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ලැබී ය. මේ අතර, අග්‍රාමාත්‍යවරයා සිව්වැනි කාර්මික විප්ලවය පිළිබඳ ඔහුගේ දැක්ම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ සමුළුව දැනුම්වත් කරනු ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad