වසන්ත කරන්නාගොඩ දඩයම් කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 2, 2015

වසන්ත කරන්නාගොඩ දඩයම් කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම්..

mussammil-newකොටි පැරදු යුධ ජයග‍්‍රහණය වෙනුවෙන් නාවික හමුදාවට නායකත්වය දුන් මෙරට කීර්තිමක් නාවික හමුදාපතිවරයෙක් වන වසන්ත කරන්නාගොඩ දඩයම් කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එහි එහි මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ චෝදනා කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද සඳහන් කළේය

‘‘ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පසුගියදා පවසා තිබුණා ‘ශ‍්‍රී ලංකාවේ මෑතකදී සිදු වූ වෙනස පිටුපස සිටින ප‍්‍රධානතම රට ඇමෙරිකා එක්සත් ජනපදයයි’ කියලා. ‘යහපාලන ආණ්ඩුවක්’ ඇති කරලා මේ සිදු කරන ‘වෙනස’ පිටුපස සිටින ප‍්‍රධානතම රාජ්‍යය ඇමෙරිකා එක්සත් ජනපදය බවයි ඔහු පවසා ඇත්තේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර් සම්බන්ධන් මහතා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබුණා, ‘වාර්තාව ප‍්‍රමාද කිරීමෙන් දඩුවම්වලින් බේරෙන්න පුළුවන්ද? යුද අපරාධකාරයන්ට බේරෙන්න පුළුවන් වෙන්නේ සියදිවි හානි කරගත්තොත් පමණයි’ කියලා. 

මෙම ප‍්‍රකාශ දෙකම සලකා බලද්දී ශ‍්‍රී ලංකාව තුළ මේ සිදු වූ වෙනස පිටුපස ඉන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය බව ඉතා පැහැදිලියි. ඒ වගේම යහපාලන ආණ්ඩුවේ කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබුණා, ‘ටියුනීසියාව, ඊජිප්තුව, තුර්කිය යන රටවල බුලට් එකෙන්(උණ්ඩයෙන්) කළ වෙනස ශ‍්‍රී ලංකාවේදී බැලට් එකෙන්(ඡන්දයෙන්) කළා’ කියලා. 

ඒ අනුව අද ජනතා විමුක්ති පෙරමුණත් ජාතික හෙළ උරුමයත් මේ අරගෙන දීලා තියෙන්නේ ඇමෙරිකාවට ඕනෙ කරන ‘චේන්ජ් එක’, වෙනස. ඇමෙරිකා එක්සත් ජනපදය තිරය පිටුපස සිට කරපු දේ තමයි, ජවිපෙ හා ජාතික හෙළ උරුමය තිරය ඉදිරියේ රග දැක්වූයේ. 

එහෙම කියන්නේ අපි නොවෙයි, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී. එහෙම නම් යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් අය, යහපාලන වෙනුවෙන් කථා කළ අය මේ හැම කෙනාම ඇමෙරිකා එක්සත් ජනපදයේ උවමනාව ඉටු කරන්න කටයුතු කර තිබෙන බව පැහැදිලියි.
මේ අපූරු ‘යහපාලනයෙන්’ කොටින්ට නිදහස ලැබෙන බව පෙනෙනවා. 

යුද්ධයට එරෙහිවූවන්ට වරදාන වරප‍්‍රසාද ලැබී තිබෙනවා. නමුත් බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදයෙන් මේ රට ගලවා ගත්ත ජීවිත අවදානම මැද්දේ නායකත්වය දුන් මිනිස්සු දඩයම් කරන්න පටන් අරන් තියෙනවා. කොටි සංවිධානයට ආයුධ ලබා දුන් අය පිළිබඳව අද කිසිම පරීක්‍ෂණයක් සිදු කෙරෙන්නේ නැහැ. 

කොටි සංවිධානයට ගුවන්විදුලි සම්පේ‍්‍රක්‍ෂණ උපකරණ ලබා දුන් අය පිළිබඳව පරීක්‍ෂණ ඉක්මන් වන්නේ නැහැ. තමිල් චෙල්වම්ලා සමග එකට වාඩිවෙලා බෙදුම්වාදී දේශපාලන කළ අය, පොංගුතමිල් උත්සව සංවිධානය කළ අය අද බොහෝම නිදැල්ලේ සිටිනවා. 

හැබැයි මේ රටේ මිලියන 21ක් වූ ජනතාවට නිදහස ලබාදීම සඳහා කටයුතු කළ යුද නායකයන්, රණවිරුවන් ක‍්‍රමානුකූලව දඩයම් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරලා තිබෙන බව ඉතා පැහැදිලියි.
පසුගිය පෙබරවාරි 27 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයකු වන ඞී. කේ. පී දසනායක මහතාගෙන් ප‍්‍රශ්න කර තිබෙනවා. 

මේ කාගේ උවමනාවද ඉටු කරන්නේ? ජෝන් කෙරීලාට උවමනා වුණේ කුමක්ද? ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඇතුළත් යෝජනා ගෙනල්ලා ඒවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත කර ගත් ඇමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වුණේ කුමක්ද? ඒ ඇමෙරිකා එක්සත් ජනපදයට උවමනා දේ අද මේ ‘යහපාලන ආණ්ඩුව’ ඉටු කරමින් සිටිනවා. 

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හරහා ශ‍්‍රී ලංකා රණවිරුවන්ට දඩුවම් දෙන්න වෑයම් කළ ඇමෙරිකා එක්සත් ජනපදයට අද එහෙම කරන්න ඕනෙ නැහැ. තමන් ශ‍්‍රී ලංකාව තුළ සිදු කළ වෙනස හරහා බිහිවුණු ‘යහපාලන ආණ්ඩුව’ මගින් රණවිරුවන්ට ජාත්‍යන්තර යාන්ත‍්‍රණ වෙනුවට දේශීය යාන්ත‍්‍රණයක් තුළින් දඩුවම් දිය හැකියි, අද මේ සිදු වෙමින් පවතින්නේ ඒ දෙයයි.

‘වසන්ත කරන්නාගොඩ දඩයම් කරන්න ලෑස්ති වෙන්න එපා!’

වසන්ත කරන්නාගොඩ කියන්නේ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ නාවික හමුදාපතිවරයෙක්. මේ යුද ජයග‍්‍රහණය සමග ඔහු සුවිශාල මෙහෙවරක් ඉටු කළා. අපි ඉතා පැහැදිලිව කියනවා, ‘වසන්ත කරන්නාගොඩ ඇතුළු කීර්තිමත් රණවිරුවන් දඩයම් කරන්න ලෑස්ති වෙන්න එපා..’ කියලා. 

වසන්ත කරන්නාගොඩ වැනි කීර්තිමත් රණවිරුවන් මේ රට වෙනුවෙන් කළ කැප කිරීම්, පරිත්‍යාගයන් විශාල ප‍්‍රමාණයක් තිබෙද්දී ඔවුන්ව දඩයම් කරන්න ලෑස්ති වෙන්න එපා!. ඒකට මේ රටේ මිනිස්සු ඉඩ නොදෙන බවත් අපි පෙන්වා දීමට කැමැතියි. 

මේ රට බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදයෙන් මුදවාගෙන රට තුළ ස්ථාවර, සාමකාමී වාතාවරණයක් ගොඩනැගීමට ඔවුන් කළ කැප කිරීම මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ. අද මේ රණවිරුවන්ට දඩුවම් දීමට උවමනා වෙලා තියෙන්නේ කාටද? කොටි සංවිධානයේ ඉතිරි වී සිටින කොටස්වලට, දෙමළ ඩයස්පෝරාවට හා අපේ රටට හතුරු බටහිර රටවල්වලටයි. ඒකට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැති බව මතක තබාගන්න.

අද ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් ඉල්ලලා පෙළපාලි යනවා. ‘යහපාලනය’ ඉල්ලලා මාධ්‍ය හමු පවත්වනවා. තමන් විපක්‍ෂයේ භූමිකාව ඉටු කරන බව පෙන්වනවා. නමුත් පසුගිය දා වාහන සේල් හිමියන්ගේ ප‍්‍රශ්නයකදී ජවිපෙ නායකතුමා හැසිරුණේ ඊට හාත්පසින්ම වෙනස් අන්දමකට. 

‘ඔය ප‍්‍රශ්නය මම ජාතික විධායක සභාවේදී බේරලා දෙන්නම්’ කියලයි එදා වාහන සේල් හිමියන්ට අනුර දිසානායක මහත්තයා කියන්නේ. බැහැයි රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධව ප‍්‍රශ්නයක් ඇහුවාම තමන් කැබිනට් එකටත් උඩින් තියෙන ජාතික විධායක සභාවේ ඉන්න එක ජවිපෙ නායකතුමාට අමතකයි. පෞද්ගලික අංශයට වැටුප් වැඩි කරගන්න උද්ඝෝෂණ කරන කොට එයාට තමන් ජාතික විධායක සභාවේ බව අමතකයි. එතකොට එයා විපක්‍ෂයේ. මේ රග දැක්වෙන්නේ 
දේශපාලන නාටකයක්.

‘මෙගා ඞීල්’ ගැන කියපු අයත් එක්ක එකතු වෙලා අද ජවිපෙ නායකයන් රග දක්වන්නේ නාටකයක්. දින 100 අවසන් වෙන්න කලින් ජනතා විමුක්ති පෙරමුණ මේ ජාතික විධායක සභාවෙන් ඉවත් වේවි. ඒකත් මේ දේශපාලන නාටකයේ එක්තරා ජවනිකාවක්. ඒකට අදාළ පෙරමග ලකුණු තමයි දැන් මේ වැටෙමින් තිබෙන්නේ. මේ දේශපාලන නාටකයක් රග දැක්වීමේ අරමුණ කුමක්ද? 

වෙන කිසිවක් නොවෙයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ ‘යහපාලන ආණ්ඩුව’ කෙරෙහි කළකිරෙන ජනතාව ජවිපෙ තුළ රඳවා ගැනීම. ‘ඔබතුමාගේ යහපාලනය කෙරෙහි කළකිරෙන පිරිස්, විපක්‍ෂයේ ඉන්න බව පෙන්වලා අපි ළගට ගන්නම්. එතකොට ඉදිරි මහ මැතිවරණයේදී ඒ ඡන්ද ටික පිට යන්නේ නැහැනේ.’ කියන එකගතාවය අද එජාප නායකයා සහ ජවිපෙ නායකයා අතර ඇති වී තිබෙනවා.

ජවිපෙ නායකතුමන් කරපු එක්තරා ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙස ඇවන්ගාර්ඞ් සමාගමේ සභාපතිවරයා ඔහුට අභියෝග කර තිබෙනවා. තමන් කරපු ප‍්‍රකාශය නිවැරදි නම් ඒ අභියෝගය භාර ගන්න බැරි ඇයි? 

තමන්ට අභියෝගයක් භාර ගන්න බැරි කරුණු ඉදිරිපත් කළේ ඇයි? වමේ දේශපාලනය මේ තරම් නීචවුණු යුගයක් අපි දැකලා නැහැ. මේ ආකාරයට ජනතාවගේ ඇස්වලට වැලි ගහන්න ලෑස්ති වෙන්න එපා! කියලා අපි ජනතා විමුක්ති පෙරමුණට කියනවා.’’

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Post a Comment

Post Bottom Ad