ශ‍්‍රීලනිපය මරා දමන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 22, 2015

ශ‍්‍රීලනිපය මරා දමන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..

ශ‍්‍රීලනිපය සහමුලින්ම වනසා දමන සිරිකොත කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු මෙසේ පවසන්නේ ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමිනි.

එම සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

‘2011 මාර්තු මස පැවැති පළාත් පාලන මැතිවරණයෙන් බලයට පත්වූ සියළු පළාත් පාලන ආයතනයන්හි ධූර කාලය මේ මස 30 වනදායින් අවසන් වේ.  මෙම නිල කාලය වසරකින් දීර්ඝ කර මහ මැතිවරණයෙන් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව එකල අප පක්‍ෂයේ මතය වූ බව ඔබට සිහිපත් කරමි.

එය ජනමාධ්‍ය වෙතින් ද අවස්ථා කිහිපයකම වාර්තා කර තිබුණු බැව් ඔබට මතක ඇතැයි සිතමි.  එම තීරණයට පටහැනි ලෙස පළාත් පාලන ආයතන විසුරුවා හැර ඒවා විශේෂ කොමසාරිස්වරයෙකුගේ පාලනයට නතු කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය කුමන්ත්‍රණය කරන බැව් මා වෙත වාර්තා වී තිබේ.

මහ මැතිවරණය සඳහා සියළු කටයුතු සූදානම් වන මේ මොහොතේ පළාත් පාලන ආයතන 278ක බලය හිමි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දේශපාලනය එමගින් බරපතළ අනතුරකට ඇද දමනු ඇත.  පළාත් පාලන ආයතන විසුරුවා හැර මැතිවරණය පවත්වන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් ලෙස අපට අගය කළ හැක. 

එහෙත් “සිරිකොත“කුමන්ත්‍රණය නම් පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් අනතුරුව ඔවුනට හිතවත් නිලධාරියෙකු කොමසාරිස්වරයා ලෙස පත් කිරීම බව මා වෙත තොරතුරු ලැබී ඇත.එබැවින් මෙකී වැදගත් දේශපාලන කරුණ ගැන ඔබ සියළු දෙනා බැරෑරුම් ලෙස සළකා බැලිය යුතු බව කාරුණිකව යෝජනා කරමි.

විශේෂයෙන් අප පක්‍ෂයේ කොඳු නාරටිය වූ පළාත් පාලන ආයතන සභාපතිවරුන්, උප සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් පමණක් නොව මෙවර තරඟකිරීමට අපේක්‍ෂිතව සිටින ග්‍රාමීය ශ්‍රී. ල. නි. ප. නව නායකත්වය ද විනාශ කිරීම මෙකී එක්සත් ජාතික පක්‍ෂ කුමන්ත්‍රණයේ උවමනාව බව ඔබට වැටහෙනු ඇතැයි සිතමි.

මේ අනුව එකී තීරණය යෝජිත මහ මැතිවරණය ප්‍රතිඵල කෙරෙහි ඉතාමත් අහිතකර බලපෑමක් කළ හැකි බව ද පෙන්වා දීමට කැමැත්තෙමි. එසේම මෙම ප්‍රාදේශීය සභා සියල්ල විසින් ජාතික සංවර්ධනය කෙරෙහි ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ග්‍රාමීය ප්‍රාදේශීය බලය කෙරෙහි ද ලබා දී ඇති සුවිශේෂ දායකත්වය අපගේ සැලකිල්ලට භාජනය කළ යුතුව ඇත.

එබැවින් මෙම සියලු කරුණු සළකා බලා එක්සත් ජාතික පක්‍ෂයේ ගොඳුරක් බවට අප පක්‍ෂයේ දේශපාලන බලය හිමි පළාත් පාලන ආයතන පත් නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආදරය කරන ඔබ සැම වගබලා ගනු ඇති බවට විශ්වාස කරමි’

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

No comments:

Post a Comment

Post Bottom Ad