අෂ්රොෆ්ගේ බිරිය ෆේරියල් පෙන්ෂන් නැතිව නඩු කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

අෂ්රොෆ්ගේ බිරිය ෆේරියල් පෙන්ෂන් නැතිව නඩු කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස වසර 10ක් කටයුතු කළ තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස ඉල්ලා ෆෙරියල් ඉස්මයිල් අෂ්රොෆ් මහත්මිය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

වැන්දඹු විශ්‍රාම වැටුප ලැබීම නිසා, විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තමන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප අහිමි කිරීම අසාධාරණ බව එම පෙත්සම මගින් චෝදනා කර තිබේ.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක සහ නියෝජ්‍ය පාර්ලිමේන්තු මහ ලේකම් ආර්. ඒ. රෝහණධීර සහ නීතිපති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.

පෙත්සමෙහි සඳහන් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඇමැතිවරයකු ලෙස කටයුතු කළ ඒ. එච්. එම්. අෂ්රොෆ් මහතාගේ මරණයෙන් පසු ඔහුට හිමි විශ්‍රාම වැටුප තමාට ලැබුණු බව පෙත්සම්කාරිය පවසා ඇත.

අනතුරුව පාර්ලිමේන්තුවට පත්වූ තමා මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ බවද සඳහන් විය. එම ධුරයට හිමිවිය යුතු විශ්‍රාම වැටුප තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කාරිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබේ. 

එම ලිපියට 2014 ඔක්තෝබර් 24 වැනිදා පිළිතුරු එවමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වැන්දඹු විශ්‍රාම වැටුප හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට හිමි විශ්‍රාම වැටුප යන දෙකෙන් එකක් තෝරාගන්නා ලෙස පෙත්සම්කාරියට දැනුම් දී ඇත.

වැන්දඹු විශ්‍රාම වැටුප අහිමි කළ හැක්කේ නැවත විවාහයක් සිදු කරගතහොත් පමණක් බවද, තමා තවමත් වැන්දඹුවක ලෙස ජීවත් වන බවද සඳහන් කරන පෙත්සම්කාරිය එම විශ්‍රාම වැටුප අහිමි කිරීමට හේතුවක් නොමැති බව පෙත්සම්කාරිය සඳහන් කර ඇත. 

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තමන්ට හිමි විශ්‍රාම වැටුප අහිමි කළ නොහැකි බවද සඳහන් කර ඇත. එබැවින් එම ලිපිය බල රහිත කරන ලෙසද, තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබාදෙන ලෙසද පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

නෙල්කා මැදගෙදර

No comments:

Post a Comment

Post Bottom Ad