ශ්‍රී ලංකාවේ භූමියේ අයිතිය විදේශීය ධන කුවේරයින්ට විකුණා දැමීමට පිඹුරුපත් සකස් කලේ එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මිස වත්මන් ආණ්ඩුව නොවන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
ගාලු කොටුව තුළ පිහිටි ඉඩම් මෙන්ම වර්තමානයේ දියත උද්‍යානය පිහිටි ඉඩම ඇතුළු රටේ වටිනා ඉඩම් විදේශිය ධන කුවේරයින්ට සින්නක්කරයට ගත හැකි පරිද්දෙන් නිතී සකස් කළ පිරිස් අද වත්මන් ආණ්ඩුවට බොරු චෝදනා එල්ල කරන බවද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකළ කොළඹ, වැල්ලවත්ත, මයුරාපෙදෙස මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගි වෙමිණි.මෙම උත්සවය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත, මයුරාපෙදෙසේ දී පැවැත්විණ.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ අමාත්‍යවරයා “ අද මේ රට හුස්ම ගන්නේ ත්‍රස්තවාදය, අස්ථාවර භාවයත් එක්ක නොවන බව ඔබ දන්නවා. අද මේ රට හුස්ම ගන්නේ ජාතිය දශක ගණනාවක සිට බලාපොරොත්තුවෙන් සිටි සංවර්ධනය නැමති මහා සිහිනයත් සමගින් බව පැහැදිලියි. ඒ සිහිනය දුප්පතුන් නොසලකා හරින ලද සිහිනයක් නෙවෙයි. ඒ සිහිනය දෙමළ, මුස්ලිම් ජනතාවට අයත් නොවන සිහිනයකුත් නෙවෙයි. නමුත් විරුද්ධ පක්ෂයේ මහත්වරු, වරාය පාමුල ඉදිකෙරෙන එම මහ නගරය පෙන්නලා කියන්නේ මේ නගර හැදෙන්නේ දුප්පතුන්ට නොව මහ ධන කුවේරයින්ට විතරයි කියලා. තමුන්නාන්සේලා දන්නවා එදා මේ රටේ භූමියේ අයිතිය විදේශිය ධන කුවේරයින්ට සින්නක්කරයට ගත හැකි පරිද්දෙන් නිතී හැදුවේ කවුද කියලා. ඒ පිරිස් අද කියන්නේ වෙනම කතාවක්. වරාය පාමුල මුහුද ගොඩකරලා හදන එම නගරය, චීන ආයෝජකයෝ ලව්වාම ගොඩරලා, ඒ පිරිස ලව්වාම හදන නගරයක්. එමෙන්ම තිබුණු ප්‍රමාණයට වඩා ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයත් වැඩිකරගෙන හදන මේ මහා නගරය පෙන්නලා විරුද්ධ පක්ෂයේ මහත්වරු කියන්නේ ධන කුවේරයින්ට විතරක් රට හැදෙනවා කියලා.
ඔබ තමුන්නාන්සේලාට පේනවා මේ මහල් නිවාස පද්ධති ගොඩනැගෙන්නේ ධන කුවේරයින්ට නොව කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසවල ජීවත් වු ඔබ වෙනුවෙන් කියලා. ඒ වගේම අපිට මතකයි , එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තු වටරවුම ළග පිහිටි ඉඩම විදේශීය ධන කුවේරයින්ට සින්නක්කරයට ගත හැකි පරිද්දෙන් නිතී හදපු ආකාරය.වාණිජ දෘෂ්ටියෙන් පමණක්ම බලන ආණ්ඩුවක් නොවන නිසා වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු වටරවුම අසල පිහිටි ඒ ඉඩම දියත උද්‍යානය ඉදිකිරීමට ලබාදුන්නා. පටු දෘෂ්ටියෙන් බැලුවානම් ඒ ඉඩම පිහිටි භූමි ප්‍රදේශය අද දුප්පතුන්ගේ උද්‍යානයක් බවට පත් වෙන්නේ නැහැ. වෙන ආණ්ඩුවක් නම් ඒ ඉඩම ලබාදෙනවා සුපිරි හෝටලයක් ඉදිකිරීමට.නමුත් අපේ රජය එහෙම කළේ නැහැ.
අදෝනාව ජාතික නාදය කරගැනීමේ ඉරණමට මුහුණ පා සිටි ලාංකික ජාතිය එම කටෝර ඉරණමෙන් මුදාගෙන නැවත සංවර්ධන නැමැති සිහිනය වෙනුවෙන් හුස්ම ගන්න ජාතියක් ලෙස පරිවර්ථනය කළේ මේ රජය බව ඔබ දන්නවා. අතීත පරම්පරාවන්ට ජයගත නොහැකි වු අභියෝගයන් ජයගනිමින්, අභිමානවත් ජාතියක් ලෙස නැගි සිටීමේ සිහිනය හඹාගෙන යන්නාවු ජාතියක් බවට ශ්‍රී ලාංකික ජාතිය අද පරිවර්ථනය වෙලා තියෙනවා. සමහරු පෙන්වන්න හදනවා ඒ සිහිනය දෙමළ, මුස්ලිම් ජන කොටස්වලට අයිති නැහැ කියලා. අපේ රජය එහෙම පටු ප්‍රතිපත්තියක හිටියෙත් නැහැ, ඉන්නෙත් නැහැ කියලා ඔබ දන්නවා. මේ ගොඩනැගෙන සෑම මහල් නිවාස සංකීර්ණයකම සිංහල, දෙමළ, මුස්ලිම් තුන්ගොල්ලන්ටම ජීවත්වීමේ අයිතිය අපි ලබාදීලා තියෙනවා. දෙමළ, මුස්ලිම් කියලා නොදි හිටියෙත් නැහැ. සිංහල කියලා වැඩියෙන් දුන්නෙත් නැහැ.
උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහත්තයා උතුරේ සිංහල ජනතාව පදිංචි කරනවා කියලා කෑගහනවා, ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා. විග්නේෂ්වරන් මහත්තයලා ඒ විදියට චෝදනා එල්ල කරන ආණ්ඩුව කොළඹ නගරයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනකොටස් තුන වෙනුවෙන්ම නව මහල් නිවාස සංකීර්ණයන් හදලා ඒ ජනතාව පදිංචි කරනවා. ජනවර්ග අනන්‍යතාවය අනුව භූමිය බදාගෙන ඉන්න විග්නේෂ්වරන් මහත්තයාලද හරි? නැත්නම් සියළු ජාතින්ට ජිවත්වීමේ අයිතිය තහවුරු කරන වත්මන් ආණ්ඩුවද හරි කියලා, ඔබලා තේරුම් ගත යුතුයි. නුසුදුසු නිවාසවල ජීවත්වන හැටදාහසක පිරිසක් 2016 වර්ෂය වන විට විධිමත් මහල් නිවාස සංකීර්ණයන් හි පදිංචි කරවන්න මේ රජය කටයුතු සංවිධානය කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ වැඩසටහන මනා ලෙස සංවිධානය කරනවා. එදා යුධ ජයග්‍රහණය වෙනුවෙන් සියළුම ජාතීන් එකට එක්ව සිටිය පරිද්දෙන්ම මේ සංවර්ධනය නැමැති අභියෝගය ජයගැනීම සදහාත් අපි සියළුදෙනාම එකට එක්ව කටයුතු කිරීමයි මෙතැනදි වැදගත් වෙන්නේ.
ජනාධිපතිතුමා මෙච්චර වැඩ කොටසක් සිදුකරේ නැත්නම් ඒතුමා කොච්චර ප්‍රමාණයක් මැතිවරණය සදහා ඉදිරිපත් වුණත් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එදා 2005දී බලයට පත්වෙලා තාමත් යුද්ධ කරගෙන හිටියානම් 3න් පාරක් නෙවෙයි සියපාරක් වුණත් මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා විපක්ෂය කියන්න පුළුවන්. හැබයි යුද්ධය කරලා දිනලා, සාමය ජාතියට ලබාදීලා, දශක ගණනාවක පටන් ආපස්සට ගොස් තිබුණු සංවර්ධන අභියෝගයන් ජයගැනීමට ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා තමයි කොළඹ නගරය විධිමත් නගරයක් ලෙස නිරිමාණය වෙනවා වගේම රටේ යටිතල පහසුකම් සංවර්ධනය වන්නෙත්. එමෙන්ම පාසල්වල මහින්දෝදය විද්‍යාගාර හැදෙන්නෙත්, ජලය ගමට එනවා වගේම විදුලි බිලත් අඩුවෙලා තියෙන්නේ මේ සංවර්ධන අභියෝගයන් ජයගැනීම සදහා ජනාධිපතිතුමා ප්‍රධාන මේ රජය සිදු කොට ඇති දැවැන්ත අයෝජනය නිසා බව දැන් ඔබට පැහැදිලිව පේනවා. විදුලි බිල අඩු කළ පරිද්දෙන්ම ගෑස් මිළත් ඔබතුමා ළගදීම අඩු කරයි කියන විශ්වාසය මේ ජනතාවට තියෙනවා.
2005 වර්ෂයට කලින් මේ රටට සෙනසුරා ලබලයි හිටියේ. ඒ සෙනසුරාගේ නරකම සෙනසුරා හිටියේ 2001 – 2004 කාලයේදී. 2005 වසරෙන් පස්සේ රටේ ග්‍රහචාරය වෙනස් වුණා. පරාජයට පත් කරන්න බැහැයි කියපු ත්‍රස්තවාදය 2005 වසරෙන් පස්සේ අවුරුදු 4ක පමණ කාලයක් ගෙවි යනකොට පරාජයට පත් කරන්න පුළුවන් වුණා. ඒවගේම හම්බන්තොට වරායත් හැදුණා. ඒ වරාය දැන් රටට විදේශීය විනිමය උපදවා දෙන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස පත්වෙලා තියෙනවා. කොළඹ වරායත් පුළුල් කරලා ලොකයේ දැවැන්තම නැව් එන ස්ථානයක් බවට පත් කරලා තියෙනවා. නව තාප විදුලි බලාගාර හදලා, ඩීසල් විදුලි බලාගාර මාෆියාවෙන් ජාතික විදුලිබල පද්ධතිය මුදා ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ රටට හෙනහුරා ලබලා හිටිය කාලේ අවසන් වෙලා තියෙනවා. දැන් අප ඉදිරියේ ජාතිය දිනාගත් ජයග්‍රහණ මත හිටගෙන නොලැබු ජයග්‍රහණයක් දිනා ගැනීම වෙනුවෙන් එක්සත්ව කටයුතු කිරීමයි.
වෙනදා පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු යටතේ කොළඹ නගරයට කුඩම්මාගේ සැලකිල්ලවත් ලැබුණේ නැහැ. මේ නගරයේ ඉන්න ජනතාව එක්සත් ජාතික පාක්ෂිකයින් කියන මානසිකත්වය තමයි එදා අණ්ඩුවලට තිබුනේ. නමුත් ඒ ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවක් යටතේ වෙනස් වෙලා තියෙන බව ඔබ දන්නවා. නොඑන ආණ්ඩුවක් දිහා උඩ බලාගෙන ඉන්න දෙන්නේ නැතිව තියෙන ආණ්ඩුව මඟින් කොළඹ හදන, ලස්සන කරන වැඩසටහන මේ රජය මඟින් දියත් කරලා තියෙනවා. ඒ නිසා තියෙන රජයත් සමඟ අත්වැල් බැදගනිමින් ජාතියට ජයග්‍රහණ අත්කරදීම උදෙසා ජාති, ආගම් භේදයෙන් තොරව අප සැවොම අත්වැල් බැදගනිමු.” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
කොළඹ නගරයේ වෙසෙන අඩු පහසුකම් ජනාවාසවල ජිවත්වන ජනතාව විධිමත් නිවාස සංකීර්ණය වල පදිංචි කිරීමේ වැඩසටහන යටතේ වැල්ලවත්ත, මයුරා පෙදෙස අඩු පහසුකම් සහිත නිවාසයන්හි ජීවත් වු ජනතාව වෙනුවෙන් මෙම “ ලක්මුතු සෙවන” මහල් නිවාස සංකීර්ණය ඉදිකර තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකළ මෙම නිවාස සංකීර්ණය නිවාස 118කින් සමන්විත වන අතර මේ සදහා රුපියල් මිලියන 800ක පමණ මුදලක් වැය වී ඇත.
වර්ග අඩි 500කින් සමන්විත මෙම නිවසක් නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සදළුතලයක් හා සනීපාරක්ෂක පහසුකම් වලින් සමන්විත වේ. නිවාස ලබාදීමට සමඟාමීව මාර්ග පද්ධති පුළුල් කිරීම, විනෝද උද්‍යාන, ක්‍රීඩාපිටි, ප්‍රජා ශාලා ආදි යටිතල පහසුකම් ද මේ යටතේ සංවර්ධනය කොට ඇත.
– Con. Media
lanka C news
No comments:
Post a Comment