ඉස්කෝලෙ යද්දි කැඩුණු සපත්තුවෙන් ඇඟිල්ලක් පැනලා.. අනිත් ළමයි මට හිනා වුණා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 11, 2014

ඉස්කෝලෙ යද්දි කැඩුණු සපත්තුවෙන් ඇඟිල්ලක් පැනලා.. අනිත් ළමයි මට හිනා වුණා

http://ift.tt/eA8V8J

පාසල්වල පවතින ගැටළු හේතුවෙන් පාසල් වසා දැමීම පහසු වන අතර එය අපගේ දක්ෂතාවය නොවන බවත් එම පාසල්වල පවතින ගැටළුවලට පිළියම් යොදා අපහසු  වුවත් නිවැරදි තීරණ ගෙන පාසල් සංවර්ධනය කිරීම අපගේ වගකීම බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රාජගිරිය, කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම හා  නව ක්‍රීඩාගාරය ඉදිකිරීමේ සමාරම්භක උත්සවයට අද (11) දින ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. මේ සඳහා රුපියල් ලක්ෂ 48 ක් වැය කිරීමට  අපේක්ෂිතයි. එම විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යතිහගොඩ භද්ධිය නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත සම්පත් දායකයින්ගේ ප්‍රතිපාදන යොදාගනිමින් මෙම ක්‍රීඩාපිටියේ සංවර්ධන කටයුතු සිදුකෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  විමල් වීරවංශ  අමාත්‍යවරයා “ මෙම පාසල් සංවර්ධන සමිතියේ නිලධාරී මහත්ම මහත්මීන් අප අමාත්‍යාංශයට පැමිණ මෙම පාසල වසාදැමීමට සූදානම් වන බව ප්‍රකාශ කළාම ඒ වෙනුවෙන්  අවශ්‍ය මැදිහත්වීම සිදුකරලා එම පාසල වසා දැමීමේ තත්ත්වය වළක්වා ගැනීමට අපට හැකිවුණා. පාසලක් වහන එක නොවෙයි අපේ දක්ෂතාවය එම පාසල වැසීමට හේතුවන කරුණු හොයලා එයට පිළියම්  යෙදීමයි අපේ දක්ෂතාවය. ගැටලුවලට පිළියම් යොදන්නේ නැතුව ළමයිනගේ ඇතුළත්වීම අඩුයි කියන නිගමනයට පැමිණ පාසල වසා දමන එක පහසුයි. නමුත් අපි ගත යුත්තේ පහසු තීරණ නොවෙයි. නිවැරදි තීරණ. පහසු තීරණ හැමවෙලාවේදිම නිවැරදි තීරණ වෙන්නේ නැහැ. නිවැරදි නොවන පහසු තීරණ ගන්නවිට ඉන් අමාරුවේ වැටෙන්නේ ප්‍රජාව මිසක් වෙන කවුරුවත් නොවේ. ඒ නිසා තමයි අපි මේ පාසල වැසීයාමට ඉඩ නොදී එදා මැදිහත් වුණේ.

මෙම පාසල දියුණු කිරීම සඳහා පාසලේ විදුහල්පති තිහගොඩ භද්ධිය හිමිපාණන් වහන්සේ ඇතුළු පාසල් සංවර්ධන කමිටුව හා ප්‍රදේශවාසීන් මෙම පාසල ගොඩගන්න දක්වන උනන්දුව හා දිරිගැන්වීම නිසා අපි තීරණය කළා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන්වත්, මධ්‍යම රජයෙන්වත්, පළාත් සභවෙන්වත් ප්‍රතිපාදන අපට නොලැබුණත් සම්පත් දායකයින්ගේ ශක්තිය යොදවලා මේ පාසල පමණක් නොවයි කඩුවෙල  තිබෙන අඩුපහසුකම් සහිත පාසල් සංවර්ධනය කරන්න, දියුණු කරන්න දිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන්න. පසුගිය කාලය තුළ මෙවැනි අවධානය යොමු නොවූ පාසල් විශාල සංඛ්‍යාවක් සංවර්ධනය කිරීම සඳහා අපි කටයුතු කළේ රජයේ ප්‍රතිපාදන යොදන්නේ නැතුව. රජයේ ප්‍රතිපාදනවලින් සිදුකරන සංවර්ධන කටයුතු සඳහා විවිධ පුද්ගලයින් නම දාගත්තාට එයට දායකවන්නේ මහජනතාවගේ බදු මුදල්. අපි ඒ මුදල්වලින් සංවර්ධන කටයුතු කරනවා වගේම සම්පත් දායකයින්ගේ ශක්තිය ලබාගෙන පාසල් සංවර්ධනයට කටයුතු කරනවා. හොකන්දර මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 31 කට අධික මුදලක් වැයකරලා එම අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දුන්නා. මධ්‍යම රජයේ හෝ පළාත් සභාවේ මුදල් යොදාගන්නේ නැතුවසම්පත් දායකයන්ගේ මුදල් යොදාගෙන එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ පරිගණකාගාර ගොඩනැගිල්ලේ වහළ අලුත්වැඩියා කරලා දුන්නා. අතුරුගිරිය වල්ගම ගුණසේකර කණිෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමර ගොඩනැගිල්ල අලුතින් ඉදිකළා ඒ සඳහා රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් වැයකළා.  ඒ සඳහා  යොදාගත්තේ සම්පත් දායකයින්ගේ මුදල්. එසේම රාජගිරිය කළපලුවාව මෙම විද්‍යාලයේ ළමා උද්‍යාන සකස් කිරීමට අපි සහයෝගය ලබාදුන්නා. දැන් කඩුවෙල සංවර්ධන කමිටුව රජයෙන් ලැබුණු ප්‍රතිපාදන පාවිච්චි කර මෙම වසරේදී පාසල් සංවර්ධනය සඳහා විශාල සංවර්ධන වැඩකොටසක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම වසරේදී ජනාධිපතිතුමන් ප්‍රාදේශීය සංවර්ධන  සමිතිවලට විශාල මුදලක් වෙන්කරලා  තියෙනවා. සෑම ප්‍රාදේශීය බල ප්‍රදේශයකටම සිදු නොවුණු සංවර්ධන කටයුතු ඉටුකරන්න. ඒ අනුව පාසල් සංවර්ධනයට වගේම පොදු සංවර්ධන කටයුතු සිදුකරන්න රුපියල් මිලියන 5000 කට  ආසන්න මුදලක් කඩුවෙල ආසනයට වෙන් කර තිබෙනවා. ඒ විශාල මුදලෙන් සැළකිය යුතු මුදලක් අපි වෙන්කළා පාසල් දියුණු කරන්න.  කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති හැටියට අනිකුත් දේශපාලන නියෝජිතයින්ගේ සහයෝගයෙන් කඩුවෙල ආසනයේ තිබෙන සෑම පාසලකම පොදු පහසුකම් සංවර්ධනය කරන්න රුපියල් ලක්ෂ 1100 ක් වෙන් කළා. මධ්‍යම රජයෙන් ලැබුණු මුදලින් ලක්ෂ 1100 ක මුදලක් පාසල් සංවර්ධනය සඳහා වෙන්කරලා ඉදිරි කාලය තුළ ඉතා විශාල වැඩකොටසක් පාසල් සංවර්ධනය වෙනුවෙන් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ශ්‍රී සුභූති ජාතික පාසලේ මහින්දෝදය විද්‍යාගාරය වායුසමීකරණය කිරීම, වහළ අලුත්වැඩියා කිරීම, ශ්‍රවණාගාර පිළිසකර කිරීම, ක්‍රීඩාංගණය ඉදිකිරීම වැනි විශාල වැඩකොටසක් සිදුකිරීමට නියමිතයි. ඊට අමතරව බෝමිරිය ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ලේ පළමු මහල ඉදිකිරීම, මායිම් තාප්ප ඉදිකිරීම, මහින්දෝදය විද්‍යාගාරය වායු සමීකරණය කිරීම හා පැති බැමි යෙදීම වැනි සංවර්ධන වැඩ සඳහා විශාල මුදලක් යොදවා තිබෙනවා. මේ ආකාරයට කඩුවෙල පිහිටි  පාසල් 34 ක සංවර්ධන කටයුතු  සිදුකරනවා. මෙම පාසල්වල විදුහල්පතිවරුන්ව කැඳවලා එම පාසල්වල ඉල්ලීම් ලැයිස්තු ලබාගෙන එම ඉල්ලීම්වලින් වඩාත්  වැඩි ප්‍රමුඛතාවක් සහිත ඉල්ලීම් ඉටුකිරීමට කටයුතු කරනවා. සංවර්ධන කමිටුව හරහා ගම්වල ඉදිරි සංවර්ධන කටයුතු ඉටුකිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම සෑම කාර්යක්ම නියමිත ප්‍රමිතියෙන් යුතුව ඉටුකරනවා. ගසාකන්න දෙන්නේ නැතුව, ප්‍රමිතිය පහළ වැටෙන්න දෙන්නේ නැතුව  උපරිම ප්‍රතිලාභ දරුවන්ට ලැබෙන පරිදි  ඉටුකරන්න අවස්ථාව උදාකර දෙනවා. මාස 3 ක පමණ කාලයක් තුළදී ක්‍රීඩා පිටියේ  සංවර්ධන කටයුතු අවසන්  කර මෙම දරුවන්ට භාරදීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම  විද්‍යාලයේ සිදුකෙරෙන  සංවර්ධනයත් සමඟ ලබන වසර වන විට මෙම පාසලේ ළමුන් දෙගුණයක් බවට පත්කරන්නට විදුහල්පති හිමියන් ඇතුළු  පාසල් සංවර්ධන කමිටුවට හැකිවේවායි කියලා අපි හිතනවා.  මෙම උත්සවයට සහභාගී වූ දරුවන් අතර කැඩුණු සපත්තු පැළඳගත් දරුවන් කිහිපදෙනෙක් මම දැක්කා.  එය දැකලා මගේ කුඩා කාලයේ පාසල් දිවිය මට මතක් වුණා.එක්දිනක් පාසලේදි මගේ කැඩුණු සපත්තුවෙන් ඇඟිල්ලක් එලියට ඇවිල්ලා තිබුණා. ළමයින් ඒක දැකලා හිනාවුණා. මට ඒ සිද්ධිය අද මතක්වුණා.  මෙම පාසලේ සපත්තු අවශ්‍යතාවය ඇති දරුවන්ට නොමිලේ පාසල් සපත්තු ලබාදීමට මම තීරණය කළා. පාසලේ සපත්තු අවශ්‍යතාවය ඇති දරුවන්ගේ නාමලේඛනයක් ලබාදෙන්න, ඒ දරුවන්ට සපත්තු ලබාදෙන්න මට දියහැකි දායකත්වය ලබාදෙනවා. එය අපේ යුතුකමක් හා වගකීමක් කියලා මං හිතනවා. මෙම පාසලට දරුවන් වැඩි වැඩියෙන් ඇතුළු කරන ප්‍රදේශයේ ජනප්‍රියම පාසලක් බවට මෙම පාසල අපි පත්කරමු ” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස  රාජගිරිය, කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ ක්‍රීඩාගාරය ඉදිකිරිම හා  ක්‍රීඩාපිටිය සංවර්ධන කිරීම සිදුකෙරේ.  මේ සඳහා රුපියල් ලක්ෂ 48 ක මුදලක් වැය කිරීමට අපේක්ෂිතයි. ක්‍රීඩාගාරය සඳහා රුපියල් ලක්ෂ 27 ක් හා ක්‍රීඩාපිටිය සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 21 ලෙස මෙම  ලක්ෂ 48 යෙදවීමට නියමිතයි.

ක්‍රීඩාගාරයට මුල්ගල තැබීමට අමතරව එම පාසලේ අභිනවයෙන් ඉදිකළ  ක්‍රීඩා පිටියට ප්‍රවේශ වන පියගැටපෙළ විවෘත කිරීමද විමල් වීරවංශ අමාත්‍යවරයා අතින් සිදුකෙරිණ.

මීට අමතරව එම පාසලේ අවිධිමත්ව ඉදිකර තිබූ පන්ති කාමරයක් විධමත් ලෙස සංවර්ධනය කර පාසල් දරු දැරියන්ගේ දෙමව්පියන් සඳහා වෘත්තීය මැහුම් පාඨමාලාවක් ආරම්භ කිරීම වෙනුවෙන් එම ගොඩනැගිල්ල විවෘත කිරීමද අමාත්‍යවරයා අතින් සිදුකෙරිණ. විරිය කාන්තා සංගමය විසින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන  අතර දරුවන් පාසලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මව්පියන් නිකරුණේ පාසල කුළ කාලය ගතකිරීම නවතා ඒ වෙනුවට එම මව්පියන්ට වෘත්තීය අධ්‍යපානයක් ලබාදීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇත.

2012 වර්ෂයේදී වසා දැමීමට නියමිතව තිබූ මෙම කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලය  විමල් වීරවංශ අමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් නැවත සිසු අයිතියට පත්කරන  ලදී. ප්‍රාථමික පාසලක් වන මෙම විද්‍යාලයේ 160 කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපනය හදාරන අතර 8 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයකින් ද සමන්විතය.

- Con. Media



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *