ලොව වයස්ගතම දෙවැනි කත ‘මාවනැල්ලේ උක්කු අම්මා’ දැයෙන් සමු ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 7, 2014

ලොව වයස්ගතම දෙවැනි කත ‘මාවනැල්ලේ උක්කු අම්මා’ දැයෙන් සමු ගනී

ලෝකයේ දෙවැනි වයස්ගත කාන්තාව වශයෙන් සැලකෙන මාවනැල්ල කෙහෙල්පන්නල බලත්ගමුව අංක 8 ඒ ලිපිනයෙහි පදිංචිව සිටි අපුල්ලනලෑ උක්කු මාතාව පෙරේදා (06) සවස අභාවප්‍රාප්ත වූවාය.

1897 ඔක්තෝබර් මස 22 වැනි දින උපත ලබා ඇති උක්කු මාතාව මිය යන විට වයස අවුරුදු 116 යි මාස 03 ක් ඉක්මවා තිබිණි. 

දරුවන් අටදෙනකුගේ මවක වූ ඇගේ දරුවන් හත්දෙනකු ජීවත්ව සිටිති. ඇගේ ලොකු දුව වූ යූ. ජී. සොපියා නැමැති අයගේ දැන් වයස 91 කි.

උක්කු මහත්මියට මුණුපුරු මිණිපිරියෝ 31 දෙනෙක් සිටිති. ඔවුහු ද දැන් වයස්ගතය. ඔවුන්ගේ දරුවන් සංඛ්‍යාව 44 දෙනෙකි. ඔවුන්ට ද දරුවන් සිටිති. ඒ අනුව උක්කු මාතාව සිය දරුවන්ගේ හතරවැනි පරම්පරාව ද දැකගැනීමට වාසනාව ලැබූ තැනැත්තියකි.

ඇගේ සැමියා වූ යූ. ජී. ජොතියා මහතා මෙයට වසර 16 කට පමණ පෙර මියගොස් ඇත්තේ ද වයස අවුරුදු 111 කින් බව ඇගේ දරු මුණුපුරෝ පවසති.

ඇය කිසිදු අසනීප තත්ත්වයකින් නොසිටි අතර දින කිහිපයකට පෙර පය ලිස්සා වැටීමෙන් තරමක් අසනීප තත්ත්වයකට පත්වූ බවත්, අවසාන මොහොත දක්වා හොඳට කතාබහ කළ බව ද ඇගේ පවුලේ උදවිය පවසති.

උක්කු මහත්මිය වයසින් ලොව දෙවැනි වූයේ පසුගිය වසරේ මියගිය ජපානයේ ජරෝමත් කිඹුරා නැමැති ගොවියාට පමණය. ඔහු ද 1897 වසරේ උපන් අයෙකි.

උක්කු මහත්මියගේ අවසන් කටයුතු අද (8) පස්වරුවේ පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට විශාල ජනකායක් දේහය තැන්පත් කැර ඇති ඇගේ මුණුපුරාගේ නිවසට පැමිණෙති.

No comments:

Post a Comment

Post Bottom Ad