ලංකාවේ ප්‍රේක්ෂකයෝ මාව රැජනක් කළා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 7, 2018

ලංකාවේ ප්‍රේක්ෂකයෝ මාව රැජනක් කළා

'නිරංජනි' මේ දවස්වල හමුවෙන්නේ 'කෝමාලි කිංග්ස්' එක්ක. ඇත්තටම මොකක්ද මේ කෝමාලි කිංග්ස්?

කෝමාලි කිංග්ස් කියන්නෙ මම සම්බන්ධ වුණු චිත්‍රපටවලින් මේ දවස්වල තිරගත වෙන දමිළ චිත්‍රපටය. එය අධ්‍යක්ෂණය කරන්නේ කිං රත්නම් කියන මගේ යහළුවෙක්. ඔහුව මම හඳුනගත්තේ ඉනි අවන් චිත්‍රපටයෙන්. ඔහුත් එහි චරිතයක් නිරූපණය කළා. මට එදා ඔහු කිව්වා චිත්‍රපටයක් කරද්දී මාව එයට සම්බන්ධ කරගන්නවා කියලා. ඒ වගේම ඔහු 2016 දී මේ චිත්‍රපටය කරද්දී මාව එයට සම්බන්ධ කරගත්තා. මම එය අගය කරනවා.

සිංහල අධ්‍යක්ෂවරු සිංහල නිෂ්පාදකවරු කරපු දමිළ චිත්‍රපට අපි දැකලා තිබ්බා. කාලෙකට පස්සේ නේද දමිළ අධ්‍යක්ෂවරයෙක් කරපු ශ්‍රී ලංකාවේ දමිළ චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ?

ඇත්තටම මේ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ දෙමළ නිෂ්පාදනයක් විදියට නිර්මාණය වුණු චිත්‍රපටයක්. අවුරුදු හතළිහකට ආසන්න කාලයකට පස්සේ එවැනි දමිළ චිත්‍රපටයක් සිනමාවට ආවේ. ඒක එක ප්‍රදේශයකට සීමා වූවක් නෙවෙයි.

අවුරුදු හතළිහකට විතර පස්සේ ආපු දමිළ චිත්‍රපටයක් කිව්වම ඒකට සමහරුන්ගේ විවේචන තිබ්බා නේද?

ඔව්. ඔව්. ඒක ගොඩක් අය විවේචනය කළා. ඒකට විරුද්ධව කතා කළ අය හිටියා. ඒත් මේක අවුරුදු හතළිහකට පස්සේ එන වාණිජ මට්ටමේ ශ්‍රී ලංකා දමිළ චිත්‍රපටයක්. කෝටි තුනකට ආසන්න වියදමක් දරලා තමයි මෙය නිර්මාණය කරලත් තිබුණේ. මෙය සිංහල, දමිළ සිනමා ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි චිත්‍රපටයක්. දමිළ ජනතාව වුණත් ඉන්දියානු සිනමාවට ඇලුම් කරනවා. ඒ නිසා මේ නිර්මාණය ඉන්දියානු සිනමාව සමඟ සංසන්දනය කළ හැකි මට්ටමට තමයි නිර්මාණය වෙලා තිබුණේ. සමහරු මේ චිත්‍රපටය බලන්න ආවේ මොන බම්බුවක්ද මුන් කරලා තියෙන්නේ කියලා බලන්න. බැලුවට පස්සේ ගොඩක් අය කිව්වේ මේක මාරයිනේ කියලා. දමිළ ජනතාවගේ කැමැත්ත ඒ චිත්‍රපටයේ තියෙනවා. පළමුවැනි උත්සාහය සාර්ථකයි කියලා කරන අගය කිරීමම අපිට වටිනවා.

මේ චිත්‍රපටයේ සිටින කිහිප දෙනෙක් හැරුණුකොට බොහෝ දෙනෙක් ආධුනිකයෝ. සම්මානනීය නිළියක් වෙලත් ආධුනික පිරිසක් එක්ක වැඩ කිරීම ඔබට ගැටලුවක් වුණේ නැද්ද?

නැහැ. මම කිං රත්නම් අයියා එක්ක වැඩ කරලා තිබ්බ නිසා මට ඔහුගේ දක්ෂතාව ගැන ගැටලුවක් තිබ්බේ නැහැ. මම, රාජා ගනේෂන් සර්, දර්ශන් ධර්මරාජ් අයියා තමයි සම්මානනීය නළු නිළියන් ලෙස මෙයට සම්බන්ධ වුණේ. ජී. ජේ. ගනේෂන්, ප්‍රියන්ත සිරිකුමාරන් ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙන අය. අනෙක් පිරිස ආධුනික වුණාට අපිට ඕන වුණේ අපේ දක්ෂතාවයෙන් මේ කාර්යයට උදව්වක් කරන්න. නමක් හදාගත්ත අය විදියට අපි දමිළ සිනමාවක් හදන්න එන කෙනෙක්ට උදවු කරන්න ඕන.

අධ්‍යක්ෂවරයා මහා සිනමාවට අලුත්. මේ වැඩේ සාර්ථක වෙයි කියලා විශ්වාසයක් එහි රඟපාපු ඔබට තිබ්බද?

ඇත්තටම කිං රත්නම් සිනමා අධ්‍යක්ෂණයට අලුත්. ධර්මසේන පතිරාජ මහත්මයා වැනි මහා අධ්‍යක්ෂවරුන්ගේ සමහර නිර්මාණත් තාම තිරයට ගේන්න බැරි වෙලා තියෙනවා. එහෙම පසුබිමක අපිට තිබ්බ ගැටලුව තමයි චිත්‍රපටය තිරගත කරන්න අපිට හෝල් ලැබෙයිද, ඒක කොයි විදියට ජනතාව අතරට යයිද කියන එක. ඒත් අපි මුලින්ම වැඩේට බහිමු කියලා හිතලා වැඩේ කළා.

ලැබෙන ප්‍රතිචාරත් එක්ක දැන් ඒ තිබ්බ බය, චකිතය නැති වෙන්න ඇති?

අපි ඉන්දියානු දමිළ චිත්‍රපට බලපු අය. අපි කිව්වේ විජය, අජිත්, රජිනි කාන්ත් මරු කියලා. හැබැයි ලංකාවේ අය තමයි අපෝ මුන් කවුද කියලා ලංකාවේ ශිල්පීන්ව සමච්චල් කරන්නේ. චිත්‍රපටයේ මංගල දර්ශනයට ප්‍රවීණ අධ්‍යක්ෂවරු පවා සහභාගි වුණා. ඔවුන් අපි කළ දේ අගය කළා. ඕන උදව්වක් දෙන්නම් කියපු වචනයම අපිට වටිනවා.

නිරංජනි මුලින්ම රංගනයෙන් සම්බන්ධ වෙන්නේ වේදිකාවට. ඒ මුල තාමත් මතකද?

අනිවාර්යයෙන්ම මම වෘත්තීයමය නිවේදිකාවක්. ඊට පස්සේ තමයි මම රංගනයට එන්නේ. මම වේදිකා නිළියක් ලෙස සම්මාන ලබා ගත්තා. වේදිකාවෙන් රංගනය ඉගෙන ගත්තා. මම නිළියක් වෙන්නේ තරංගා ප්‍රියදර්ශනී අක්කා නිසා. ඊට පස්සේ තමයි මම ඉනි අවන් චිත්‍රපටය හරහා සිනමාවට එන්නේ. තාමත් මම වැඩක් ලැබුණම තරංගා අක්කාට කතා කරලා කියනවා.

අලුත් නිර්මාණවලටත් සම්බන්ධ වෙන්න ඇති?

ඔව්. ප්‍රියන්ත කළුආරච්චි අධ්‍යක්ෂණය කරන රතු සමනල සිහිනයක් චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒ වගේම දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන ගිරිවැසිපුර චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඉතිහාස කතාව තමයි මෙහි තියෙන්නේ. මම වෙන්ගට් රන්ගම්මාල් කියන අපේ රටේ අන්තිම රැජනගේ චරිතය නිරූපණය කරන්නේ. ඒක මම සම්බන්ධ වුණු පළමුවැනි ඉතිහාස චිත්‍රපටය.

ඒ කියන්නේ නිරංජනි රැජනකුත් වුණා එහෙනම්?

ඔව්. මම කොහොමත් රැජනක්. ලංකාවේ මිනිස්සු මාව රැජනක් කළා. මම සිංහලද දෙමළද කළුද සුදුද කියලා හිතන්නේ නැතිව මගේ ප්‍රේක්ෂකයෝ මට ආදරය කළා. ඒක ඇත්තටම මට වටිනවා.

තාමත් නිරංජනි දමිළ චරිතවලට කොටුවීමේ ඉරණම විඳින කෙනෙක් නේද?

ඇත්තටම ඔව්. අපිව ඒ චරිතවලට කොටුවෙලා. ලංකාවේ නිර්මාණවලට ඉන්දියාවේ නළු නිළියෝ ගෙන්වනවා. ඒ අයට පණ දෙන්නේ අපේ රටේ කටහඬවල්. ඉතින් මටත් සිංහල කතා කරන්න පුළුවන්. ඇයි මාව සිංහල චරිතවලට ගන්න බැරි කියලා ප්‍රශ්නයක් තියෙනවා. මගේ උච්චාරණය හරි නැත්නම් මගේ හැකියාව අරගෙන මං වෙනුවෙන් හඬ කවන්න බැරි ඇයි? ඒක තමයි මට තියෙන ප්‍රශ්නය.

නිරංජනි කියන්න තියෙන දේ මූණටම කියන චරිතයක් කියන්නේ ඇත්තද?

ඔව් මම කියන්න තියෙන දේ මූණටම කියනවා. මම බය නැහැ.

නිරංජනි වලිවලට යන කෙනෙක්ද?

මෙහෙමයි මම වලි දාගන්නවා කියන්නේ මම හරි දෙයට කතා කරනවා. අපිට ලැබෙන සමහර වැඩවලදී ඒක අවුල් නම් මම බනිනවා. මට මේ ළඟදී ටෙලියක් ලැබුණා. ඒකේ තියෙන්නේ යාපනයේ ඉඳන් එන තරුණියකගේ හිඟන ස්වරූපයේ චරිතයක් කරන්න. සංහිඳියාව පෙන්වන්න කියලා යුද්ධයම කතා කරල තේරුමක් නැහැ. දෙයක් වුණාම ඒකම විකුණගෙන කන්න හොඳ නැහැ. එතකොට ප්‍රේක්ෂකයොත් හිතනවා සල්ලි දෙනවා නම් අපි ඕන දෙයක් කරනවා කියලා.

ඒ කියන්නේ නිරංජනි තෝරා ගැනීමක් එක්කද වැඩ කරන්නේ?

ඔව්. මට ලැබෙන හැම වැඩේම කරන්නේ නැහැ. මම සමහර වැඩ අයින් කරලා තියෙනවා. සමහර වැඩවලදී රණ්ඩු වෙලත් තියෙනවා.

ආයෙත් රියැලිටි වැඩවල දැක්කේ නෑ. රියැලිටි එපා වුණාද?

අම්මෝ මට තනියෙන් නටන්න එන්න කිව්වොත් යනවා. නැත්නම් යන්න අදහසක් නෑ. මම දැවැන්ත නිර්මාණවල ප්‍රවීණ දක්‍ෂ නළු නිළියෝ එක්ක වැඩ කරලා තියෙනවා. ඒත් ප්‍රශ්නයක් වෙලා නැහැ. රියැලිටිවලට ගියාම තමයි තේරුණේ කැපිලි මොනවද කියලා.

දැන් පෙම්වතියක්නේ. එකලාසයක් වෙන්නේ කවද්ද?

මම පෙම්වතියක්. හැබැයි දැන්ම කසාද බඳින්න අදහසක් නැහැ. අපි වගේ අය අඩුයි. නුවර පොඩි ගමක ඉපදුණු දෙමළ කෙල්ලෙක් මම. ඉතිං මට මේ ලැබිච්ච ආශීර්වාදයෙන් ප්‍රයෝජනයක් අරගෙන පිරිසක් හදලා මම රංගනයෙන් අයින් වුණත් අයින් වෙන්නේ. ඒ නිසා ක්‍ෂේත්‍රයේ වැඩ ටිකක් කරලා විවාහය ගැනත් හිතනවා.


(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

No comments:

Post a Comment

Post Bottom Ad