ශ්‍රී ලංකාවේ තත්වය අද ඉන්දීය පුවත්පත්වල මුල් පිටුවලින් වාර්තා කළ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 8, 2018

ශ්‍රී ලංකාවේ තත්වය අද ඉන්දීය පුවත්පත්වල මුල් පිටුවලින් වාර්තා කළ හැටි

ශ්‍රී ලංකාවේ තත්වය
අද ඉන්දීය පුවත්පත්වල මුල් පිටුවලින්
වාර්තා කළ හැටි


මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින කලබලකාරී තත්වයන් ලෝකයේ බොහෝ මාධ්‍ය මගින් වාර්තා කර තිබෙන අතර ඉන්දීය පුවත්පත් මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වා ඇති බව හඳුනාගන්නට ලැබේ. මුස්ලිම් ජාතිකයින් හා සම්බන්ධ සංසිද්ධි ඉන්දියාවටද පොදුවූ නිසාදෝ එරට පුවත්පත්වල මුල්පිටු හා ඇතුළු පිටු පුරා මෙම වාර්තා විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.
‘ද හින්දු‘ පුවත්පත අද (8) මේ ගැන ලිපි දෙකකින් වාර්තා කර තිබෙන අතර එකකින් කියැවෙන්නේ,
“දිගින් දිගටම මුස්ලිම් කඩ සිංහල කණ්ඩායම් වල ගොදුරු බවට පත්වෙමින් පවතී. ඇතැම් තැනෙක පොලිසියට හෝ හමුදාවට මහජනයා අවනත නැති අතර
එම ක්‍රියාවලියම රජයේ විවේචනයටද ලක්ව තිබේ.
බදාදා දිනයේ සිය ගණන් සිංහල පිරිස් වීදි බැස කඩ කාමර 25 ක පමණ බසාර් එකක් විනාශ කර තිබුණි. පසුව එම පිරිසට එරෙහිව මුස්ලිම් පිරිස් ගල් ගසා තිබේ. සිද්ධිය වෙත ආරක්ෂක අංශ පැමිණ ඇත්තේ ප්‍රමාදවීමෙනි. එසේ ආවත් බලා සිටීම පමණක් සිදු කිරීම නිසා අරාජක තත්වයක් නිර්මාණය වී තිබුණි..“ යනුවෙනි.


‘සිරිසේන පැත්තක් ගන්න බැරිව හිරවෙලා‘ යන අදහස ඇතිව හින්දු පුවත්පත පළ කරන අනෙක් ලිපියෙන් විස්තර කර තිබෙන්නේ දින 10 ක හදිසි තත්වයක් පත් කර තිබෙන සිරිසේන රජය ඇතිව තිබෙන වාතාවරණය හමුවේ සිය සංහිඳියා ප්‍රතිපත්ති සමග තීරණයක් ගන්නට බැරි අවස්ථාවකට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් 2017 දෙසැම්බර් ගිංතොට ඇතිවූ සංසිද්ධි ඉතා උපායශීලීව විසඳාගන්නට රජය සමත්වූ නමුත් ඒ හා සමානව මෙම තත්වය මැඩපවත්වන්නට හැකියාවක් නොලැබීම කණගාටුවට හේතුවක්  බව එහි දැක්වේ.

2014 බොදු බල සේනා සහ රාවණා බල සංවිධාන අලුත්ගම ප්‍රදේශයේ ඇති කළ කලබල වල දිගුවක් ලෙස වත්මන් තත්වය හඳුනාගත හැකි බවත් සිංහල තරුණ පිරිස් සමග එම සංවිධාන කරන ගනුදෙනුව මත මෙම තත්වයන් නිර්මාණය වී ඇති බවත් එහි දැක්වේ. අලුත්ගමදී අඩුතරමින් 4 දෙනෙකු මියගොස් දසදහසකට ආසන්න පිරිසක්  අවතැන්වූ බව පෙන්වා දෙන 'ද හින්දු' පුවත්පත එම අවස්ථාවේදීත් තත්වය පාලනයට පොලිසිය මෙන්ම එවක රාජපක්ෂ පාලනයද අසමත්වූ බව දන්වා සිටී. පසුව පැවති මැතිවරණයේදී සුළු ජන ඡන්දවල විශ්වාසය අහිමිවීමෙන් රාජපක්ෂ පැරදුණ බවත්, සිරිසේන ජයගත්තේ සුළු ජන ඡන්ද වල වාසිය තිබුණ නිසා බවත් එහි දැක්වේ.

මීට මාසයකට පෙර පැවති පලාත් පාලන ඡන්දයේදී රාජපක්ෂ යළි හිස ඔසවන ස්වරූපයක් පෙන්නුම් කර ඇති බවත් ඔහු තමන්ගේ ගොඩ ශක්තිමත් කිරීමට මෙවැනි අවස්ථාවක මෛත්‍රී රනිල් සතු සුළු ජන විශ්වාසය පළුදු වීම දේශපාලන වශයෙන් අපේක්ෂා කරනු ඇති බවද එම ලිපියෙන් පෙන්වා දී ඇත.


මේ ආකාරයට ආගම දේශපාලනයට යෙදවූ අවස්ථා මියන්මාරයේ හා තායිලන්තයේ සුලබ බව පෙන්වා දෙන හින්දු පුවත්පත මෙවන් අවස්ථා නිසා අසරණ බවට පත්වන්නේ සාමාන්‍ය ප්‍රජාව බවද පැහැදිලි කර ඇත.
එසේම මෙම ක්‍රියාදාමයට ජමාත් සංවිධානය මේවනවිට ජාත්‍යන්තර සහාය ලබාගනිමින් සිටීමත් එජා සංවිධානය, යුරෝපා කොමිසම ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මැදිහත්වීමට තීරණය ගෙන තිබීමත් තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපහසු තත්වයකට පත්විය හැකි බවද ද හින්දු පුවත්පත පෙන්වා දෙයි.

මෙ අතර ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද (8) පළ කළ වාර්තාවකින් ලංකාවේ ෆේස් බුක් ඇතුලු සමාජ මාධ්‍ය දින 3 කට වසා දමා  ඇති බවත් මුස්ලිම් හා සිංහල පිරිසට වන හානි සමාජ මාධ්‍ය තුළ ප්‍රකට වීමෙන් ප්‍රශ්නය දුරදිගයාම පැළැක්වීමට එම පියවර ගෙන ඇති බවත් විස්තර කර ඇත.

ඒ අතරම මෙම සිදුවීම් සම්බන්ධව චීනය යහපත් ආකල්පයක් දරන බවත් ලංකාවේ විශාල ආයෝජනයක් සිදු කරන රටක් වශයෙන් චීනය  ලංකාව තුළ ඇතිව තිබෙන තත්වය ගැන විමසිල්ලෙන් පසුවෙමින් චීන විදේශ කටයුතු ප්‍රකාශක ගෙන්ග් ෂුන්ග් ‘ලංකාව මෙය හිමින් විසඳාගනීවි‘ යන ප්‍රකාශය සිදු කර ඇති බවත් වාර්තා කර තිබේ.

ඉන්දියාවේ පළවන ‘මිඩ් ඩේ‘ පුවත්පත ‘ඩීඑන්ඒ‘ පුවත්පත හා ‘ඩෙකෑන් ක්‍රොනිකල්‘ පුවත්පතද මේ හා සමාන තොරතුරු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විස්තරාමකව ඉදිරිපත් කර තිබුණි.






No comments:

Post a Comment

Post Bottom Ad