ඩෙංගු බලන මුවාවෙන් පැමිණ නිවසක්‌ කොල්ලකාලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 25, 2017

ඩෙංගු බලන මුවාවෙන් පැමිණ නිවසක්‌ කොල්ලකාලා


ඩෙංගු පරීක්‍ෂා කරන මුවාවෙන් ගොස්‌ දෙමටගොඩ නිවසකින් රුපියල් ලක්‍ෂ 4 ක්‌ වටිනා රන් භාණ්‌ඩ කොල්ලකෑ තරුණයකු සහ ඔහුගේ මව දෙමටගොඩ පොලිසිය මගින් පෙරේදා (23 දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු කොල්ලකෑ රන් භාණ්‌ඩවලින් කොටසක්‌ උකස්‌ කර තිබියදී ද ඉතිරි කොටස සැකකරුගේ පුත්තලම නිවසේ සඟවා තිබියදී ද සොයාගත් බව පොලිසිය කියයි.

මෙම කොල්ලය සිදුවී තිබුණේ පසුගිය 22 වැනිදා පෙරවරුවේය. කොල්ලය සිදුවූ නිවසේ අවුරුදු 80 ක පමණ වයෝවෘද්ධ කාන්තාවක තනිවම සිට ඇත. සැකකරු ඩෙංගු පරීක්‍ෂා කරන මුවාවෙන් එම නිවසට ගොස්‌ කාන්තාවගේ අත්පා ගැටගසා කටේ ප්ලාස්‌ටරයක්‌ ද ගසා රන් භාණ්‌ඩ කොල්ලකා පලාගොස්‌ තිබිණි.

හෝකන්දර පදිංචි මේ කාන්තාවකගේ දියණියට අසල්වාසීන් කළ දැනුම්දීමකට අනුව එහි පැමිණි දියණිය තම මවගේ අත්පා ලිහා දමා මේ ගැන පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය නිවසේ සීසීටීවී දර්ශන පරීක්‍ෂා කර බලා මෙම සොරකම සිදුකර ඇත්තේ කාන්තාවගේ දියණියගේ නිවසේ මෙහෙකාරිය හා ඇගේ වැඩිමල් පුත්‍රයා බව හෙළිකරගෙන තිබේ. ඒ අනුව පොලිසිය පැය 24 ක්‌ යාමට මත්තෙන් මෙහෙකාරිය හා ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

47 හැවිරිදි මෙහෙකාරිය විසින් 24 හැවිරිදි සිය පුත්‍රයාට මෙම කොල්ලය සිදුකරන ලෙස උපදෙස්‌ ලබාදී ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

No comments:

Post a Comment

Post Bottom Ad