ගිරිඋල්ලේ මංගල සාදය අතර ළිඳේ වැටී මියගිය තිදෙනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

ගිරිඋල්ලේ මංගල සාදය අතර ළිඳේ වැටී මියගිය තිදෙනා

ගිරිඋල්ල - අතුරුවල ප්‍රදේශයේ නිකේතනයක පෙරේදා (26දා) රාත්‍රි පැවැති මංගල සාදයක් අතරතුරදී එම හෝටලයේ අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් පොලිස් නිලධාරියකු, ප්‍රාදේශීය සහා හිටපු මන්ත්‍රිවරයකු ඇතුළු තිදෙනකු මියගිය බව ගිරිඋල්ල පොලිසිය පවසයි. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොළඹ පොලිස් මූලස්ථානයේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරියකු වූ අතුරුවල පදිංචිව සිටි තිදරු පියකු වූ අල්ගම වත්තගේ මහින්ද කරුණාරත්න (39), දඹදෙණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයකු වූ දඹදෙණිය මාරවිට පදිංචිව සිටි තිදරු පියකු වූ

දංගොල්ල ලේකම්ලාගේ අජන්තලාල් කුමාර (41) සහ මාරවිට කජුලන්දේ පදිංචිව සිටි අධිකාරි මුදියන්සේලාගේ නිහාල් ප්‍රසාද් අධිකාරි (38) නමැති දෙදරු පියෙකි. මංගල උත්සව පැවැති උත්සව ශාලාව අසල නිවෙසක පදිංචිකරුවකු වූ මහින්ද මෙදින මංගල උත්සවයේ වර්ණවත් විදුලි බුබුළු දැමීමේ කාර්යද භාරව සිට ඇත. ඔහු එදින රාත්‍රියේ හෝටලයේ උඩු මහලේ සිට තරප්පු පෙළෙන් බැස යෑමේදී ළිඳ වසා තිබූ ලෑලිද කඩාගෙන ළිඳට වැටී ඇති බව අනාවරණය වී ඇත. ඔහු බේරා ගැනීම සඳහා නිහාල් ප්‍රසාද් ළිඳට පැන ඇත. ඔවුන් දෙදෙනා බේරා ගැනීම සඳහා පිහිනුම් ශුරයකු වූ අජන්ත ලාල් මහතා පැන ඇත.


ඔහු නාවික හමුදාවේ සේවය කර පසුව විදේශගතව සිට ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ අයෙකි. ළිඳෙන් ගොඩට ඒමට නොහැකිව ඒ තුළ තිදෙනාම මියගියේ ළිඳ අසල සියයකට ආසන්න පිරිසක් සිටියදී බවද අනාවරණය වෙයි. සිද්ධිය පිළිබඳව කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරි නිමල් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය මත ගිරිඋල්ල පොලිස් ස්ථනාධිපති ප්‍රසාද් මන්දනායක, පොලිස් පරීක්ෂක රාජපක්ෂ ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති. මියගිය තිදෙනාගේ මරණ පරීක්ෂණ ඊයේ (27දා) පැවැත්වීමට නියමිතව තිබිණි.

පන්නල - ඩබ්ලිව්.ඒ. සරත්,නාරම්මල - ඩී.පී. හර්ෂණ,වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා,අලව්ව - මුදියන්සේ අබේකෝන්,ගිරිඋල්ල - ඔවින් කෞෂල්‍ය

No comments:

Post a Comment

Post Bottom Ad