ඉන්ධන හිඟ ප්‍රශ්නය අද සවස් වනතුරු පවතීවි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

ඉන්ධන හිඟ ප්‍රශ්නය අද සවස් වනතුරු පවතීවි

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද (28දා) පස්වරුව පමණ වන විට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා මහතා  පැවැසීය. ඛනිජ තෙල් වැඩ වර්ජනයක් අවසන් වූ සැණින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් නොවන බවද හෙතෙම පැවැසීය.

වැඩ වර්ජනයේ නිරත වුණු සේවකයන් ඊයේ (27දා) පෙරවරුවේ සිට සුපුරුදු රාජකාරි කටයුතුවල ගැටලුවකින් තොරව නිරත වූ බවද ඔහු සඳහන් කළේය. ඊයේ (27දා) මධ්‍යහ්න 12 පමණ වන විට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් ඩීසල් මෙට්රික් ටොන් 2000ක්, පෙට්රල් මෙට්රික් ටොන් 1200ක්, ගුවන් යානා තෙල් මෙට්රික් ටොන් 1000ක් සහ භූමිතෙල් මෙට්රික් ටොන් 150ක් බෙදා හැරීමට හැකි වූ බවද එහි ප්‍රකාශකයෙක් "මව්බිම"ට පැවැසීය.

මුතුරාජවෙල තෙල් තොග ගබඩා පර්යන්තයෙන්ද ඩීසල් මෙට්රික් ටොන් 1300ක් සහ පෙට්රල් මෙට්රික් ටොන් 1600ක ප්‍රමාණයක් ඊයේ (27දා) මධ්‍යහ්න 12 පමණ වන විට බෙදා හැර තිබිණි. කෙසේ වෙතත් ඊයේ (27දා) පස්වරුව වන විටද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන හල්වල ඉන්ධන නොතිබුණු බවට වාර්තා විය. ඇතැම් ඉන්ධන හල්වල දැඩි රථ වාහන පෝලිම්ද දැක ගත හැකි විය.

චාමර අමරසූරිය

No comments:

Post a Comment

Post Bottom Ad