අම්පාරේ හොර නාමල්ට නඩු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

අම්පාරේ හොර නාමල්ට නඩු

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතාට දුරකතන ඇමැතුමක් ලබාදී ගුවන් හමුදා නිලධාරියකුගේ ස්ථාන මාරුවක් අවලංගු කරන්නැයි බල කළේ යැයි චෝදනා කරමින් අම්පාර නගර සභාවේ හිටපු නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම නමැත්තාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව සාක්ෂි දීම සඳහා නොවැම්බර් මස 2 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (27දා) හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතා වෙත අවසන් වතාවට සිතාසි නිකුත් කළේය.

තමා ගුවන් හමුදාපති ලෙස කටයුතු කළ අවධියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ලෙස පෙනී සිටිමින් ගුවන් හමුදා සාමාජිකයකුගේ ස්ථාන මාරු කිරීමක් අවලංගු කරන මෙන් දුරකතන මාර්ගයෙන් බල කළ බවට චෝදනා කරමින් හර්ෂ අබේවික්‍රම මහතා විසින් විත්තිකරුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. එම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබුණත් හිටපු ගුවන් හමුදාපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව හිටපු ගුවන් හමුදාපතිවරයා වෙත නැවතත් සිතාසි නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සාක්ෂිකාර හිටපු ගුවන් හමුදාපතිවරයාට නොවැම්බර් මස 2 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අවසන් වතාවට සිතාසි නිකුත් කළේය.

කේ.එස්. උදයකුමාර්

No comments:

Post a Comment

Post Bottom Ad