ශ්‍රීලනිපයට එරෙහි බලවේග දෙකක් - එජාපය දෙමල සන්ධානය සමග ආණ්ඩුව පිහිටුවීමේ සැලසුමක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

ශ්‍රීලනිපයට එරෙහි බලවේග දෙකක් - එජාපය දෙමල සන්ධානය සමග ආණ්ඩුව පිහිටුවීමේ සැලසුමක්?

අද වනවිට බලවේග දෙකකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගත යුතු බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. “අද බලවේග දෙකකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගත යුතුයි. බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසක් පක්ෂය ශ්‍රී ලංකා කිය කියා වෙනත් පක්ෂ හදනවා. 

බැසිල්ලට නඩු පමා කරගන්න පිටරට යන්න, වෙනත් අවශ්‍යතා නිසා එක්සත් ජාතික පක්ෂය සමඟ ඩීල් ගහගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩනවා. මේ පිරිසගෙන් අපේ පක්ෂය බේරාගත යුතුයි.“ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ ඉකුත් 23දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතමින් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ අය කොතෙක් දැඟලුවත් මේ ආණ්ඩුව 2020 වර්ෂය දක්වාම ඉදිරියට යන බවත් එය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබා ගත යුතු බවත්ය.

එහිදී අදහස් දක්වමින් නිමල් සිරිපාල ඇමැතිවරයා මෙසේද පැවසී ය.

“අද ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ අය දකින හීනයක් තියෙනවා. මේ පවතින ජාතික ආණ්ඩුව පෙරළලා වෙනමම ආණ්ඩුවක් හැදීම තමයි ඒ හීනය. ඒක ඒ අය දකින හීනයක්ම විතරයි. ජනාධිපති මෛත්‍රීපාල හරිනම් අපිට පයින් ගහලා එලවන්න ඕනි. එතුමා එහෙම ක‍ළේ නෑ. මහින්ද මෛත්‍රීට පක්ෂය බාරදුන්නා. පක්ෂය කියන විධියට අපි ඉන්නවා. හෙට පක්ෂය තීන්දුවක් ගත්තොත් අපි ආණ්ඩුවෙන් එළියට යනවා“

“මම මගේ ජනතාවගෙන් ආණ්ඩුවට යන්නද කියලා ඇහුවා. ජනතාව කියපු නිසයි මම ගියේ. මම ගිය නිසා හොඳ ඇමැතිකමක් ඇරගෙන අද බදුල්ලේ ජනතාවට වැඩ කරනවා. අපි නොගියානම් අද තත්ත්වය කොහොමද?අද අපේ පක්ෂයේ බෙදීමක් තියෙන බව ඇත්ත. නමුත් ආණ්ඩුවේ ඉන්න අපි ඉවත් වුණා කියලා ආණ්ඩු පිහිටුවන්න බෑ. අපි ආණ්ඩුවෙන් ඉවත් වුණොත් එක්සත් ජාතික පක්ෂය ටී. එන්. ඒ. පක්ෂය තවත් පක්ෂ එකතු කරගෙන ආණ්ඩුවක් පිහිටුවයි.

පාර්ලිමේන්තුව විසුරුවන්නත් බෑ මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකේ බලයක් ඒකටත් ඕනි. අපි කැමති වුණත් නැතත් 2020 දක්වා මේ ආණ්ඩුව තියෙනවා. අපි දැනගන්න ඕනි එතන ඉඳගෙන අපේ ජනතාවට වැඩ කරන්න. අතීතයේදීත් විජය, චන්ද්‍රිකා අපේ පක්ෂය කඩාගෙන ගියා. නමුත් ටික කාලයකින් නැවත ඇවිත් තමයි චන්ද්‍රිකා ජනාධිපතිනිය වුණේ. ඒක නිසා පක්ෂය කඩාගෙන යන අයට ආයෙ මේ පක්ෂයට එන්න වෙනවාම තමයි.“ යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad