කොරියානු පාර්ලිමේන්තු නියෝජිතයන් ජනපති හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

කොරියානු පාර්ලිමේන්තු නියෝජිතයන් ජනපති හමුවෙයි

කොරියානු පාර්ලිමේන්තු නියෝජිතයන් ජනපති හමුවෙයි
නියඟයෙන් පීඩාවට පත් ජනතාවට ලබාදීම සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය පරිත්‍යාග කරන ජල බවුසර් 08 ක් ඇතුළු සහනාධාර ශ‍්‍රී ලංකා රජයට භාරදීම පෙරේද‍ෙ (28) ජනාධිපති නිල නිවසේදී සිදුවිය. දෙරට අතර හතළිස් වසරක තානාපති සබඳතා සමරමින් ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ නායක හොන්ග් මූන් ජොන්ග් (Hong Moon – jong) සහ යූ කී ජූන් (Yoo Ki-june) යන මහත්වරුන් විසින් මෙම ජල බවුසර්වල යතුරු සංකේතාත්මකව ජනාධිපතිවරයා වෙත භාර කෙරිනි.

මෙහිදී ජනාධිපතිවරයා කොරියානු රජයටත් ජනතාවටත් සිය ස්තූතිය පළ කරමින් කියා සිටියේ, රටේ තුනෙන් දෙකක භූමි ප‍්‍රදේශයක ජනතාව නියඟයෙන් පීඩාවට පත්ව සිටින බවත්, එම නියං ප‍්‍රදේශවලට ජල සැපයුමෙහි හදිසි අවශ්‍යතාවයක් පවතින බැවින් මෙම ජල බවුසර් ඉතාමත් ප‍්‍රයෝජනවත් වන බවයි.

එම ජල බවුසර් නියඟය පවතින යාපනය, කිලිනොච්චිය, අනුරාධපුර, පොළොන්නරුව සහ ත‍්‍රිකුණාමල ප‍්‍රදේශවලට කඩිනමින් බෙදාහැරීමට කටයුතු කරන බව මෙහිදී අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය. කොරියාව ලබාදුන් ආධාර පිළිබඳව තවදුරටත් සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා, කොරියාවේ සේවය කරන තිස්දහසක් පමණ වන ශ‍්‍රී ලාංකීය ජනතාවට කොරියාව ලබාදෙන සහයෝගය පිළිබඳව ද සිය ස්තූතිය පළ කර සිටියේය.

නියෝජිත පිරිසේ නායක හොන්ග් මූන්ග් ජෝන්ග් මහතා (Hong Moon – jong) ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාවලදී කොරියානු රජයට දක්වන නිරන්තර සහයෝගීතාවය පිළිබඳව සිය කෘතඥතාවය ද පළ කළේය. පාර්ලිමේන්තු නියෝජිත පිරිසට ඇතුළත් කොරියානු හිටපු සාගර කටයුතු පිළිබඳ අමාත්‍ය යූ කී ජූන් මහතා (Yoo Ki – june) ප‍්‍රකාශ කර සිටියේ, ශ‍්‍රී ලංකාව වැනි දිවයිනකට සාගර සම්පත් උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට ගත හැකි බවත්, ධීවර කර්මාන්තය පිළිබඳ කොරියාවේ දියුණු තාක්ෂණික ක‍්‍රමවේද ශ‍්‍රී ලංකාව සමග බෙදා ගැනීමට ද ඔවුන් සූදානම් බවත්ය.

දැනට යුරෝපයටත් වෙනත් රටවලටත් කරන මත්ස්‍ය අපනයනය වැඩි කර ගැනීමට එම තාක්ෂණ ක‍්‍රමවේද යොදා ගත හැකි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මෙහිදී අදහස් දක්වමින් කොරියාවේ ධීවර අංශයේ තාක්ෂණික ක‍්‍රමවේද ශ‍්‍රී ලංකාවට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරයා සහ වර්තමාන අධ්‍යක්ෂවරයා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad