කොළොන්නාව තෙල් ගබඩාවට හමුදාව ඇතුළු වෙයි- තෙල් බෙදා හැරීමත් අත්‍යවශ්‍ය සේවාවක් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

කොළොන්නාව තෙල් ගබඩාවට හමුදාව ඇතුළු වෙයි- තෙල් බෙදා හැරීමත් අත්‍යවශ්‍ය සේවාවක් කරයි

සේවකයන් රැදී සිටි කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට අද (26) අළුයම යුද හමුදාව ඇතුළු වී තිබේ. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ වර්ජනයට එක්ව සිටින සේවකයන් එම ස්ථානයෙන් ඉවත් කර ඊට සහය නොදක්වන සේවකයින්ගේ ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බවයි.

කෙසේ වෙතත්, වර්ජනයට එක්ව සිටින සේවකයින් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිට රැදී සිටින බව වාර්තා වේ. ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පැවසූවේ කුමන බාධා පැමිණියත් සිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි. ත්‍රිකුණාමලය - චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම, හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය, සංස්ථාවට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කඩිනමින් නවීකරණය කිරීම යන ඉල්ලීම් තුන මුල් කරගනිමින් ඛණිජ තෙල් සේවකයන් පෙරේදා මධ්‍යම රාත්‍රියේ වර්ජනයක් ආරම්භ කළේය. 

මේ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැඩි තදබදයක් පසුගිය දින දෙකෙහිම දක්නට ලැබුණි. වර්ජනය සමග ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණි පාරිභෝගිකයින් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ද ඇති වූ අතර, ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණේ ඒවායේ ඉන්ධන අවසන්වීම හේතුවෙනි. එමෙන්ම ඊයේ දිනයේ කොළොන්නාව නිමාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල තෙල් පර්යන්තවලින් ඉන්ධන නිකුත් කිරීමක් සිදුවූයේ නැත.  මේ අතර ඛණිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණි. 

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කෙරුණු මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රෙට්ට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලූම ඉන්ධන සැපයුම හා බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බවයි.  එමෙන්ම වරායන් තුළ නැවකින් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, භාර දීම හෝ ඉවත් කිරීමට අදාළව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන් ඉටු කළ යුතු බවට ද එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසුව සේවකයන් සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව රජය පවසයි.  එමෙන්ම කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තවල බෙදා හැරීම යථා තත්ත්වයට පත් කර ඇති බැවින් තෙල් බෙදා හරින බවුසර්වලට එම ස්ථාන සඳහා යන ලෙස ද ඔවුන් දැනුම් දෙයි. මේ අතර, හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තවල ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් උදෑසන වන විට බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළ හැකි බවයි. 

No comments:

Post a Comment

Post Bottom Ad