කොළඹ පෝස්ටර් ගැසීම, බැනර්, කටවුට් එල්ලීම පරිස්සමෙන් - රජයේ තීරණය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

කොළඹ පෝස්ටර් ගැසීම, බැනර්, කටවුට් එල්ලීම පරිස්සමෙන් - රජයේ තීරණය මෙන්න

කොළඹ සහ තදාසන්න නාගරික බල ප‍්‍රදේශවල කිසිඳු අවසරයකින් තොරව බැනර් සහ කටවුට් එල්ලීමේ ප‍්‍රවණතාවක් වැඩි වී ඇතැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව නගර සභාවට නියමිත ගාස්තු ගෙවා අවසර ලබාගැනීමකින් තොරව බැනර් සහ කටවුට් එල්ලන්නේ නම් එම දැන්වීම හිමි පුද්ගලයා සහ එම දැන්වීම ඇලවීමට දායක වූ ආයතනය හෝ පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් එමෙන්ම විවිධ ආයතන, පුද්ගලයින් විසින් කොළඹ සහ තදාසන්න නාගරික බල ප‍්‍රදේශවල පෝස්ටර් ගැසීම සඳහා ස්ථාපිත කර ඇති පුවරු නොසලකා මග දෙපස තාප්පවල පෝස්ටර් ඇලවීමට කටයුතු කරනු ලබන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒවා ද නීති විරෝධී සහ පරිසරයට සිදු කරන හානි සේ සලකා නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන්නැයි අදාල නගර සභාවල ලේකම්වරුන්ට, කොමසාරිස්වරුන්ට සහ පරිසර පොලීසියට අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ. මේ පිළිබඳව අද සිට දින 14 කාලයක් නිවැරදි දැනුවත් කිරීමට ලබාදෙන අතර, ඉන් පසුවත් නියමිත අවසරයකින් තොරව සහ ඒ සඳහා වන ස්ථානවලින් පරිබාහිරව පෝස්ටර් අලවන්නේ නම් හෝ කටවුට් එල්ලන්නේ නම් තදින් නීතිය කි‍්‍රයාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

රටේ පවතින නීතිය යටතේ ඒ සියල්ලටම එරෙහිව කි‍්‍රයාත්මක වීමටත්, ඇලකට, කානුවකට හෝ ජල පද්ධතියකට කුණු දමන්නේ නම් ඊට රුපියල් 1,25,000.00 දඩයක් නියම කළ හැකි බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා සමස්ථ රටේ මහජනතාවගේ යහපත උදෙසා පවතින නීති කි‍්‍රයාත්මක විය යුතු බවත්, කැළි කසළ ගැටළුවේදී හෝ තමන්ට අයත් කිසිදු ආයතනයක බලයට, ධනයට හෝ පුද්ගල හිතවත් කමට නීතිය කි‍්‍රයාත්මක නොවීමට කිසිඳු හේතුවක් නොමැති බවත් කියා සිටියේය.

කොළඹ නගරය සහ තදාසන්න නාගරික බල ප‍්‍රදේශ වන කෝට්ටේ, කඩුවෙල, කැළණිය, දෙහිවල - ගල්කිස්ස, මොරටුව, කොලොන්නාව, මුල්ලේරියාව හා පෑලියගොඩ යන නගර සභා ආශ‍්‍රිතව කැළි කසළ බැහැර කිරීම, එකතු කිරීම සහ විධිමත්ව අපහරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ප‍්‍රගති සමාලෝචනය පෙරේදා රාත‍්‍රී 7.00ට කොළඹ මහ නගර සභා පරිශ‍්‍රයේදී පැවැත්විණ. චම්පික රණවක අමාත්‍යවරයාගේ මූලිකත්වයන් පැවැත්වෙන මෙම සාකච්ඡාව ආරම්භයේදී සතියේ දින 7 ම පැවැත්වූ අතර, මේ වන විට සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන් හිදී පමණක් පැවැත් වේ.

ඊයේ පැවැති සාකච්ඡාවට සියළුම නගර සභාවල කොමසාරිස්වරුන්, නාගරික ඉංජිනේරුවන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ප‍්‍රධානීන්, අනුබද්ධ රාජ්‍ය සහ පෞද්ගලික (අබාන්ස්, කෙයාක්ලීන් වැනි) ආයතන ප‍්‍රධානීන් සහ සියළු ප‍්‍රදේශ ආවරණය වන අයුරින් ශ‍්‍රී ලංකා පොලීසියේ පරිසර ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්‍ෂකවරු සහභාගී වූහ. මේ වන විට දෛනික කැලි කසළ බැහැර කිරීම් අධික්‍ෂණය ශ‍්‍රී ලංකා යුද හමුදාවේ කොළඹ අලංකරණය කිරීමේ ඒකකය විසින් සිදු කරන අතර, පරිසර පොලීසිය ඊට දායක වේ. 

ඇල මාර්ග පිළිබඳ අධික්‍ෂණය නාවික හමුදාව සිදු කරන අතර ඒ සෑම ප‍්‍රදේශයකම කැළි කසළ ඉවත් කිරීමේ වගකීම ඊට ආශ‍්‍රිත නගර සභාව, ප‍්‍රාදේශීය සභාව සහ අබාන්ස් හෝ කෙයා ක්ලීන් ආයතනය වගකීම් දරණු ඇත. යුද හමුදාවේ නිරීක්‍ෂණයට යටත්ව නීති විරෝධි ලෙස මහ මගට කුණු බැහැර කිරීම හේතුවෙන් පොලීසිය විසින් පසුගිය දින 20 තුළදී අත්අඩංගුවට ගැනීම් 803 ක් වාර්තා වේ. නාවික හමුදාව ඇල මාර්ගවලට නීති විරෝධිව කසල බැහැර කරන්නන් 20 දෙනෙකුට නඩු පවරා ඇති අතර ශ‍්‍රී ලංකා පොලීසිය විසින් 697 දෙනෙක් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. 

ඒ අනුව පසුගිය දින 20 තුළදී නීති විරෝධි කසළ බැහැර කරන්නන් 1,520 දෙනෙකුට නඩු පවරා තිබේ. 2015 වසරේදී නීති විරෝධි කසළ බැහැර කරන්නන් 831 දෙනෙකුට නඩු පවරා ඇති අතර එය 2016 වර්ෂයේදී 1,163 කි. 2017 වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා අනවසර කැළි කසළ බැහැර කරන්නන් 2,655 දෙනෙකුට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad