‘බැදුම්කර මගඩිය කරන්න මට කිවුවේ අගමැති රනිල්…’- අර්ජුන් මහේන්ද‍්‍රන් සාක්‍ෂි දෙයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

‘බැදුම්කර මගඩිය කරන්න මට කිවුවේ අගමැති රනිල්…’- අර්ජුන් මහේන්ද‍්‍රන් සාක්‍ෂි දෙයි…



මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වූ මොනාක් නිවාස සංකීර්ණයේ නිවසක් අල්ලස් වශයෙන් ගැනීමේ සිදුවීමට සම්බන්ධ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා තුළ අංශූමාත්‍රයක හෝ ශිෂ්ට සම්පන්න බවක් තිබේ නම් ඔහු වහා ඉල්ලා අස් විය යුතු බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සාමාජික වීරකුමාර දිසානායක මහතා පිටකෝට්ටේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා මෙසේ ද සඳහන් කළේය.

“මෙම මාධ්‍ය හමුව කැඳවූයේ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්‍ෂණ සිදු කළ පාර්ලිමේන්තුවේ කෝප් කමිටු දෙකේම සාමාජිකත්වය දැරූ මන්ත්‍රිවරයකු ලෙසයි. ඒ වගේම බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ද මා සාක්‍ෂි දීමට අවස්ථාවක් ලබා ගෙන අදාළ කරුණු ඉදිරිපත් කිරීම සිදු කළා. ඒ සෑම මොහොතකදීම අප දැරූ ස්ථාවරය තමයි, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව කියන්නේ මෙරට සිදු වූ බරපතළම මූල්‍ය වංචාව බව. ඒ වගේම අපි සෑම විටම කෝප් කමිටුවලදීත්, ජනාධිපති කොමිසම හමුවේත් රට හමුවේත් පෙන්වා දුන්නේ ‘මෙම බරපතළ මූල්‍ය වංචාව හිටපු මහ බංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට සහ ඔහුගේ බෑණා වන අර්ජුන ඇලෝසියස්ට තනිව සිදු කරන්න බැහැ’ කියන එකයි. 

මෙවැනි බරපතළ මූල්‍ය වංචාවක් සිදු කිරීමට නම් පැහැදිලිව යහපාලන ආණ්ඩුවේ සහයෝගය ලැබිය යුතුයි. එදා කෝප් කමිටුව ඉදිරියට කැඳවූ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පැවසුවා, ‘මට මේ බැඳුම්කර ගනුදෙනුව සඳහා උපදෙස් දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි’ කියලා. කෙසේ නමුත් කෝප් කමිටුවේ සීමාකම් නිසා ඊට අදාළ ඇතැම් වැදගත් සාක්ෂි ලබා ගැනීමට හැකි වුණේ නැහැ.

‘හිරිකිත – පිළිකුල් සහගත – නින්දිත වැඩක්’

පසුව මේ සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම, පරීක්‍ෂණ ඉදිරියට ගෙන යමින් තිබෙනවා. එහි කටයුතු ජනමාධ්‍ය මගින් රටේ ජනතාවට දැන ගැනීමට ලැබෙමින් තිබෙනවා. කොමිසම හමුවේ ලබා දුන් සාක්‍ෂියක් පිළිබඳව විද්යුත් මාධ්‍ය සහ පුවත්පත්වලින් දැන ගැනීමට ලැබුණා. හිරිකිත, පිළිකුල් සහගත, නින්දිත ක්‍රියාවක් ගැන තමයි අපට එමගින් අහන්න, දකින්න ලැබුණේ. එය ඇසූ මට ‘මේ රට මේ තරම් අවාසනාවන්තද?’ කියා සිතුණා. ඒ අනුව යහපාලනය පිළිබඳ පැණි බේරෙන තර්ක ඉදිරිපත් කරපු, මූල්‍ය කළමනාකරණය ගැන මහා විචක්‍ෂණභාවයකින් කථා කරපු හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු එතුමාගේ පවුලේ සාමාජිකයන්ට බැඳුම්කර වංචාවේ ‘සුපිරි පුත්‍රයා’ වූ අර්ජුන ඇලෝසියස්ගෙන් මහා ත්‍යාගයක් පිරිනැමී ඇත.

මේ විදියට තෑගි දෙන්න අර්ජුන ඇලෝසියස් සහ රවී කරුණානායක අතර තිබෙන සහසම්බන්ධය කුමක්ද? නෑදෑකමක්ද, හිතවත්කමක්ද? ගෝල්ෆේස් හෝටලය ඉදිරිපිට තිබෙන මොනාක් සුපිරි නිවාස සංකීර්ණයේ නිවාස ඒකක 02ක් මිලියන 165කට රවී කරුණානායකට අරන් දීමට අර්ජුන ඇලෝසියස්ට තිබෙන උවමනාව කුමක්ද? මුලින් මාස 06කට කල්බදු පදනමින් මේ අතිසුඛෝපභෝගී නිවාස ඒකක දෙක අරන් දෙන්න අර්ජුන ඇලෝසියස් වැය කළ මුදල රුපියල් මිලියන 7.3ක් බවත් ඉහත ඉහත සාක්‍ෂියේදී හෙළි වුණා. ඒ අනුව රවී කරුණානායක පවුල වෙනුවෙන් තැගී දෙන්න අර්ජුන ඇලෝසියස් වැය කර ඇති මුදල රුපියල මිලියන 172.3ක්. අර්ජුන ඇලෝසියස්ගෙන් මේ වගේ තෑග්ගක් ගැනීමට තිබෙන සම්බන්ධය රවී කරුණානායක ඇමතිවරයා වහාම රටට කිව යුතුයි.

‘බැඳුම්කර වංචාව ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් බව ඔප්පු වුණා’
කෝප් කමිටු දෙකක් විසින්ම මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බව තම පරික්‍ෂණවලින් සොයා ගත්තා. නමුත් මේ ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු පිරිස් බොහෝ සුරංගනා කතා කියමින් ඒවා වැහුවා. මේ මිලියන 172ක ගනුදෙනුව මේ හොරකමේ එක් පුංචි කොටසක්. තව තවත් මේ හොරකම පිළිබඳව සොයා ගෙන ගියාම මේ හොරකමේ විශාලත්වය ඔබට පෙනේවි. මේ බැඳුම්කර හොරකම රනිල් වික්‍රමසිංහ – රවී කරුණානායක – අර්ජුන මහේන්ද්‍රන් – අර්ජුන ඇලෝසියස් යන අයගේ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් සිදු කළ එකක්. කෝප් කමිටුව හමුවේ එදා අර්ජුන මහේන්ද්‍රන් කීවා ‘මට අගමැතිතුමා තමයි මේ ගනුදෙනුවට උපදෙස් දුන්නේ’ කියා. 

දැන් අගමැතිවරයාට තමන් නිවැරදි නම් කියන්න පුළුවන් ‘මම නොවෙයි මේ හොරකම කළේ රවී කරුණානායක’ කියලා. රවී කරුණානායකටත් ඒ විදියට තමන් නිවැරදි නම් කියන්න පුළුවන් ‘මම නොවෙයි මේ හොරකම කළේ අගමැතිවරයා’ කියලා. ඒ ප්‍රකාශ කරන්න දැන් වෙලාව ඇවිල්ලා තිබෙනවා. දැන්වත් අගමැති සහ මුදල් ඇමති තමන් කළ දේ රටට කියා පුළුවන් නම් රට හමුවේ නිවැරදිභාවය ඔප්පු කළ යුතුයි. හොරකම්, ජඩකම් හොයන්න ආපු යහපාලකයන්ගේ යහපාලන හොරකම්, යහපාලන ජඩකම් දැන් කරුණු සහිතව එළියට එමින් තිබෙනවා. 

ඒ නිසා අපි කියනවා ‘ඇඟේ සෛලයක හෝ ශිෂ්ට සම්පන්න භාවයක් තියෙනවා නම් රවී කරුණානායක තමන් දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි’ කියා. ඒ වගේම ජනාධිපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් වහාම රට හමුවේ ප්‍රකාශයක් කළ යුතුයි. අල්ලස් ගැනීමත් – දීමත් නීතිය ඉදිරියේ වරදක්. ඒ නිසා කොමිසමේ කටයුතු තවම අවසන්ව නොමැති වුවත් මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. දැන් අපට කියන්න ‘අගමැතිවරයාගේ පොකට් එකට මුදල් ඇමති ගැහුවාද? නැතිනම් අගමැති සහ මුදල් ඇමති එකතු වෙලා ජනතාවගේ පොකට් එකට ගැහුවාද? කියලා. මේක එක සිද්ධියක් විතරයි. තව ඒවා තිබෙනවා. නමුත් මේ ආකාරයෙන් රට ඉදිරියේ හෙළිදරව් වූ මේ සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාවේ යොදවන්න බැරිනම් මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ


lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad