කතානායකගේ කටයුතු අගමැති පවරා ගැනීමක්ද? හදුන්නෙත්තිගෙන් විශේෂ ලිපියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 22, 2016

කතානායකගේ කටයුතු අගමැති පවරා ගැනීමක්ද? හදුන්නෙත්තිගෙන් විශේෂ ලිපියක්

කතානායකගේ කටයුතු අගමැති පවරා ගැනීමක්ද? හදුන්නෙත්තිගෙන් විශේෂ ලිපියක්

කෝප් වාර්තාව නීතිපතිවරයාට යොමු කළ යුත්තේ පාර්ලිමේන්තුව වෙනුවෙන් කථානායකවරයා විසින් බව කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

බැඳුම්කර ගනුදෙනුවට අදාළව පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමේ අවශ්‍යතාවයක් ඇත්නම් එය තීරණය කළ යුත්තේද අගමැතිවරයා විසින් නොව මුළු මහත් පාර්ලිමේන්තුවම විසින් බව හදුන්නෙත්ති මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගණුදෙනු පිළිබද කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ කතානායකවරයාට බාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳ ගන්නා විධිමත් ක්‍රියාමාර්ග ජනවාරි මස පළමු පාර්ලිමේන්තු සභාවාරයේදී සාකච්ඡා කළ යුතු බවට කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කතානායකවරයාට අද(22) ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර තිබේ.

එම ලිපිය සම්පූර්ණයෙන් පහතින්.

ගරු කතානායකතුමා,

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව,

ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.

ගරු කතානායකතුමනි,

2016 ඔක්තෝබර් 28 දින සභාගත කළ 

මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ වාර්තාව පිළිබඳවයි

2015 පෙබරවාරි සිට 2016 මැයි දක්වා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී සිදුවී ඇති මූල්‍යමය අක‍්‍රමිකතා සොයාබැලීමට විශේෂ කාරක සභාවක් ලෙස කටයුතු කළ පොදු ව්‍යාපාර කාරක සභාව වෙනුවෙන් එහි සභාපතිවරයා ලෙස මා විසින් අදාළ වාර්තාව 2016 ඔක්තෝබර් 28 වැනි දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. 

එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව එය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතු ලේඛනයකි. ඉන් ඉක්බිතිව එම වාර්තාවට අදාළව පියවර ගත යුත්තේ ගරු කතානායකවරයා ලෙස ඔබතුමා විසින් බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මනා අත්දැකීම් ඇති ඔබතුමාට අවබෝධයක් ඇති බව මම දනිමි. 

නමුත් ඔබතුමා වෙනුවට අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා විසින් අදාළ වාර්තාව නීතිපතිවරයාට යොමු කළ බව මාධ්‍ය මගින් නිතර වාර්තා පළවිය. එම බැඳුම්කර ගනුදෙනුවට අදාළව පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමේ අවශ්‍යතාවයක් ඇත්නම් එය තීරණය කළ යුත්තේද අගමැතිවරයා විසින් නොව මුළු මහත් පාර්ලිමේන්තුවම විසිනි. නීතිපති උපදෙස් ලබාගැනීම හෝ ඉදිරි අනිකුත් පියවරයන් ගැනීමේ භාරකාර වගකීම පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවේ අප සියලූ දෙනාම වෙනුවෙන් ඔබතුමා වෙතය. එම කටයුත්ත ආණ්ඩුවේ කටයුත්තක් ලෙස සලකා අගමැතිතුමා විසින් සිදුකිරීම පාර්ලිමේන්තුවේ ප‍්‍රධානියා ලෙස ඔබතුමාගේ කටයුත්තක් අගමැතිවරයා විසින් පවරා ගැනීමකි. 

2016 ඔක්තෝබර් 28 දින සභාගත කරන ලද බැඳුම්කර ගනුදෙනුවට අදාළ වාර්තාව 2017 වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරයේදීම පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක් කර ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු විධිමත් ලෙස සිදුකිරීමට අදාළව පියවර ගන්නා මෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙසත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකු ලෙසත් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 

ස්තූතියි,

මෙයට විශ්වාසී,

 සුනිල් හඳුන්නෙත්ති

පාර්ලිමේන්තු මන්ත‍්‍රී

සභාපති - පොදු ව්‍යාපාර කාරක සභාව

2016.12.22

No comments:

Post a Comment

Post Bottom Ad