'එපා නම් අපිට කියන්න' - මාධ්‍ය නිදහස ගැන රනිල් කතා කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

'එපා නම් අපිට කියන්න' - මාධ්‍ය නිදහස ගැන රනිල් කතා කරයි (VIDEO)

'එපා නම් අපිට කියන්න' - මාධ්‍ය නිදහස ගැන රනිල් කතා කරයි (VIDEO)
පසුගිය වසර 10ක පමණ කාලය තුළදී මට දේශපාලනයෙන් ඈත් වන්නැයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය පැවැසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“ඔබ පරාජය වෙනවා, දිනන්න බැහැ කිව්වා, එල්.ටී.ටී.ඊ.කාරයා, නෝර්වේජියන්කාරයා, ඇමෙරිකන්කාරයා යනුවෙන් මාධ්‍ය මට පැවැසුවා. එලෙස නොකියූ මාධ්‍යයක් ඉන්නවා නම් මට කියන්න. මම ඒ අය කියන දේ අහලා දේශපාලනයෙන් ඉවත් වූයේ නැහැ“ යනුවෙන් ඔහු සඳහන් කළේය.

ලෝක මාධ්‍ය දිනයට සමගාමීව පසුගියදා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවැති 'ජනතාවට වගකියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා' යන වාර්තාව එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

“යාපනයේ ඝාතනය වූ මාධ්‍යවේදීන් පිළිබඳව විපක්ෂ නායක සම්බන්දන් මහතා ප්‍රකාශ කළා. උදයන් පුවත්පතේ මාධ්‍යවේදීන් ද ඒ අතර සිටිනවා. උදයන් පුවත්පත වැඩිපුරම ‍දොස් කියා ඇත්තේ මටයි. අපගේ දේශපාලනය එකක් නෙවෙයි. නමුත් මාධ්‍ය නිදහස වෙනුවෙන් උදයන් පුවත්පත ක්‍රියා කළා. ශ්‍රී ලංකාවේ මාධ්‍යයට මේ ටිකවත් පිළිගැනීමට නොහැකිවී තිබෙනවා. පසුගිය වසරේදී මා මගේ යුතුකම ඉටු කළා. 

මාධ්‍යයට එය කරන්න නොහැකිද? යාපනයේ අය දෙමළ නිසා මැරුවට කමක් නැහැයි කියා අප ඔවුන් පැත්තකට දමමු. මාධ්‍යයේ සමහර අය කියන්නේ එයයි. සත්‍යය එයයි. මේවා වහන්න අවශ්‍ය නැහැ.
අපි එක්නැලිගොඩ ගැන කතා කරමු. එයා කරපු වැරැද්ද මොකක්ද? නිදහස වෙනුවෙන් කතා කිරීමද? ඔහු සරත් ෆොන්සේකා වෙනුවෙන් වැඩකටයුතු කළා. 

අද කියන්නේ මොකක්ද? එක්නැලිගොඩත් එල්.ටී.ටී.ඊ.කාරයෙක්ලු. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සම්බන්ධකම් තිබුණාලු. මේ කතා කරන්නේ මොනවාද? එක්නැලිගොඩ පැහැර ගන්නට පෙර වර්තමාන ජපාන තානාපති ධම්මික ගංගානාත් දිසානායක මහතාද පැහැරගත්තා. මම සමහරුන්ට කතා කරලා ඔහු බේරුවා.

අපි හොඳ සිංහල, බෞද්ධ මාධ්‍ය බව අද මේ මාධ්‍ය පවසනවා. එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳව සොයා බැලීම රණවිරුවන් පාවාදීමක්ලු. මෙවැනි ප්‍රකාශ අපේ නමට කැළලක් බව රණවිරුවන් ගණනාවක් මා සමඟ පැවැසුවා. මාධ්‍ය තමන්ගේ කෙනකුට සලකන්නේ මෙලෙස නම් මාධ්‍ය නිදහස ගැන කවර කතාද? අපට මාධ්‍ය නිදහස ගලේ කොටා ලබාදෙන්න බැහැ.

ආපසු එල්.ටී.ටී.ඊ. සංවිධානය එනවා යැයි මේ අය කියනවා. සමහරු ඒ බව කෙළින්ම වාර්තා කරනවා. තවත් සමහරුන් කෙළින්ම පළ කරන්නට නොහැකි නිසා මන්ත්‍රිවරුන් ලවා කියවාගෙන ඒවා පළ කරනවා. මා මේ ගැන පොලිසියෙන් විමසුවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති නිසා නැවත ඔවුන් නොඑන බව පොලිසිය පැවැසුවා. අනතුරුව හමුදා බුද්ධි අංශයෙන්ද මේ පිළිබඳව මා විමසුවා. ඔවුන්ද ලබාදුන්නේ එම පිළිතුරමයි.

දැන් මාධ්‍ය නිදහස උදෙසා සටන් කරන්නේ අපයි. මාධ්‍ය නිදහස එපා කියන්නේ මාධ්‍යයි. මෙවැනි දේ සිදුවෙලා තිබෙන්නේ මොන රටේද?“ යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසී ය. 

No comments:

Post a Comment

Post Bottom Ad