එදා කාන්තාව හැඳි මිටේ නුවණ තිබේ යෑයි අවතක්සේරුවට ලක්කළ සමාජ යුගයක් තිබුණි.
එහෙත් ඒ සමාජ යුගය අවසන් කරමින් වර්තමාන සමාජයේ "තැනට සුදුසු නුවණ” යොදා ගනිමින් යුවතියක් වශයෙන් තමන්ගේ ජීවිත කාලයටම නොමැකෙන කැළලක් වීමට තිබූ ඒ අවාසනාවන්ත මොහොත තමන්ගේ පා පහරින් වළකා තමන් විනාශ කිරීමට පැමිණි කාමාතුරයාගේ දිව සපා කා ඔහු පලවා හැරීමට සමත් වූ ආත්ම ශක්තියෙන් යථාර්ථයට මුහුණදුන් දිරිය පාසල් සිසුවියක් සම්බන්ධව තබන්නා වූ සුවිශේෂී වූ සටහනකි මේ.
මාවතගම පොලිස් බල ප්‍රදේශයේ "ජාකඩුකන්ද” නමැති ඈත දුෂ්කර ප්‍රදේශයක අම්මා, තාත්තා සමග දියණියෝ දෙදෙනා ජීවත්වෙති. ප්‍රදේශයේ ගඩොල් පෝරණුවක කම්කරුවන් වශයෙන් සේවය කර ඔවුහු ජීවනෝපාය සරි කරගනිති. ඊට අමතරව එළුවන් කීප දෙනකු රැකබලා ගෙන එයින්ද ආදායමක් ලබාගෙන තමන්ගේ ජීවිත අවශ්‍යතාවයන් ඉටුකර ගනිති.
කොතෙක් ආර්ථික අපහසුතා තිබුණත් අගහිගකම් තිබුණත් තමන්ගේ දුවා දරුවන්ට අධ්‍යාපනය ලබාදී රටේ යහපත් පුරවැසියන් බවට පත් කිරීමත් ඔවුන්ගේ අනාගතය සරු කිරීම හැම දෙමාපියෙක්ගේම යුතුකමකි. ඒ යුතුකම ඉටු වෙද්දී පවුලේ වැඩිමල් දියණිය වන පද්මිණි ගුණවර්ධන සිසුවිය පුස්සැල්කන්ද රජයේ පාසලේ උසස් පෙළ අධ්‍යාපනය හදාරන අතර ඇගේ එකම නැගණිය 3 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන්නීය.
ඔවුන්ගේ දිනපතා පාසල් ගමනද සිතන තරම් පහසු කාර්යක් නොව. ඔවුන් පදිංචි නිවසේ සිට පැය කීපයක් පා ගමනින් ගමන් කළ යුතුය. ඉතාමත් හුදෙකලා වූ පරිසරයක පිහිටි පද්මිණි සිසුවිය පදිංචි නිවසට මීටර් 600 ක් පමණ පා ගමනින්ම යායුතුව ඇත. ඔවුන්ගේ නිවස සමීපයේ වෙනත් නිවසක් ඉදිවී නැත.
සිසුවියගේ දෙමාපියෝ නිරන්තරයෙන්ම ඔවුන්ගේ ජීවන වෘත්තිය වන නිවසට මඳක් දුරින් පිහිටි ගඩොල් කර්මාන්තයේ සේවය කරමින් සිටිති. පසුගිය 27 දින පද්මිණි සිසුවිය සහ බාල සොයුරිය පාසල නිමවී නිවසට පැමිණ ඇත. මොවුන් දෙදෙනා මෙසේ නිවස සමීපයට පැමිණි විට නිවසේ පිටුපස දොර විවෘත වී තිබෙන බවත් නිවසේ කාමරයක විදුලි පහන් දැල්වී තිබෙන ආකාරයත් දැක ගන්නට ලැබී තිබේ.
දෙමාපියන් නිවස තුළ නොසිටින නිසා මේ පිළිබඳව සැක සිතූ සිසුවිය පෑල දොරින් නිවසට ඇතුළු නොවී නිවසේ පිටතට වී රැඳී සිටියාය.මේ මොහොතේ නිවස පිටුපසින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු බීමට වතුර වීදුරුවක් දෙන ලෙස දැරියගෙන් ඉල්ලූවේය. මෙම දැරිය ස්ථානෝචිතව කටයුතු කර නිවසට ඇතුළු නොවී නිවස සමීපයේ පිහිටි ළිඳෙන් බීමට ජලය ඉල්ලූ පුද්ගලයාට ජලය ලබාදුන්නාය.
මෙසේ දිය පිපාසය සංසිඳවාගත් මේ නාඳුනන පුද්ගලයා එම ස්ථානයේ තවදුරටත් රැඳී සිටීම නිසා විමතියටත් බියටත් පත් සිසුවිය තම බාල සොයුරිය සමග දෙමාපියන් වැඩ කරමින් සිටි ගඩොල් පෝරොණුව වෙත යැමට පිටත් වූහ. මේ මොහොතේ පිටුපසින් සිටි නාඳුනන පුද්ගලයා හදිසියේම දුවගෙනවිත් දැරිය බදාගෙන බිම පෙරළාගෙන අතවරයක් කිරීමට සූදානම් විය. වහා ක්‍රියාත්මක වූ දැරිය පෙරළාගෙන සිටින නාඳුනන පුද්ගලයාගේ බඩට පයින් පහර දුන්නාය.
ඒ සමගම ඔහු දිව දික් කළේය. දැරිය ඔහුගේ "දිව” වෙන් වෙන්නම සපා කෑම නිසා නාඳුනන පුද්ගලයා කෑ ගසමින් දැරිය අතහැර පලාගියේය. දැරිය සපා කෑ කාමතුරයාගේ දිවේ කොටස සමග දැරිය සහ දැරියගේ දෙමාපියන් මාවතගම පොලිසියට පැමිණ දිවේ කොටස පොලිසියට භාරදී තමන්ට සිදු වූ අකටයුත්ත පොලිසියට පැමිණිලි කළහ.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු දැරිය පදිංචි නිවසේ වහලයේ උළුකැට තුනක් ගලවා නිවසට ඇතුළුවී තිබෙන බවත් දරියගේ පියා නිදාගන්නා ඇඳේ කොට්ටේ යට තිබුණු 30,000 ක මුදලක් පැහැරගෙන තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. වහලයෙන් නිවසට ඇතුළු වූ සැකකරු තමන්ට පලා යැම පහසුව සඳහා නිවසේ පිටුපස දොර විවෘත කර තිබෙන බවත් මේ මොහොතේ දැරිය දුටු නිසා දැරියට ලිංගික අතවරයක් කිරීමට සූදානම් වූ බවට පොලිසිය සැක පහළ කර තිබේ.
මාවතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සඳසිරි මහතා,මේ ගැන මෙසේ කීය.
පැමිණිල්ලට අදාළ සැකකරු සෙවීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් සිදුවෙමින් පවතිනවා. දැරිය එක් පුද්ගලයෙකු නම් කරලා තිබුණා සැක සහිතයි කියලා. ඒ පුද්ගලයා නීතිඥ මහත්මයෙක් සමග පොලිසියට භාර වුණා. නමුත් ඒ පුද්ගලයාගේ දිවේ අඩුවක් හෝ තුවාලයක් සිදුවී නොමැති නිසා කටඋත්තරයක් සටහන් කරගෙන නිදහස් කළා. දිවේ කොටස නඩු භාණ්ඩයක් වශයෙන් සුරක්ෂිතව අධිකරණයට ඉදිරිපත් කරනවා. ඞී. එන්. ඒ. පරීක්ෂණයක් සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවා.
මේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට හඳුනාගෙන නෑ. මේ සැකකරු නිවසට ඇතුළුවී තිබෙන්නේ නිවසේ වහලේ උළු කැට තුනක් ගලවලා. නිවසේ තිබූ රු. 30,000 මුදලක් පැහැරගෙන තිබෙනවා. නිවස කොල්ලකෑම, ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කිරීම මෙම සැකකරුට තිබෙන චෝදනා.
යම් පුද්ගලයෙක් දිවේ තුවාලයක් සඳහා ප්‍රතිකාර කිරීමට රජයේ රෝහලකට හෝ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණියහොත් ළගම තිබෙන පොලිස් ස්ථානයකට දැනුම් දෙන ලෙසත්, දැරියගේ දෙමාපියන් රැක බලාගත් එළුවන් අලෙවිකර ලබාගත් රු. 30,000 මුදලද සැකකරු විසින් රැගෙන ගොස් තිබෙන බවද දෙමාපියන් පොලිසියට පවසා ඇත.
මාවතගම පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයකොඩි මහතා, කාන්තා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දැලකදුර මහත්මිය සහ කා.පො.සැ. (1167) නිලන්ති මහත්මිය ඇතුළු පොලිස් නිලධාරීන් විසින් මෙහි පරීක්ෂණ කටයුතු සිදුකෙරෙනු ඇත.
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මත මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සඳගිරි මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් විශේෂ පොලිස් පරීක්ෂණයක් පැවැත්වේ.
ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර - උපුටා ගැනීම දිවයින
Tuesday, May 10, 2016
කාමතුරයාගේ දිවේ කෑල්ලත් සමග පොලිසියට ගිය පාසල් දැරියගේ සත්‍ය කතාව
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment