නවකවදයෙන් මෙතෙක් මරණ 09ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

නවකවදයෙන් මෙතෙක් මරණ 09ක්

නවකවදයෙන් මෙතෙක් මරණ 09ක්
මෙරට විශ්වවිද්‍යාල නවකවදය හේතුවෙන් සිසුන් 09දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකළේ ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී ය. 1975 සිට සිදුවූ මෙම ජීවිත හානිවලින් සිව්දෙනකු නවකවදය හේතුවෙන් ඇති වූ කම්පනය, ආතතිය නිසා සිය දිවි හානි කර ගෙන ද තවත් තිදෙනෙකු නවකවදය නිසා ඇති වු තුවාලවලින් අනතුරට පත්ව ද තවත් දෙදෙනෙකු නවකවදය හරහා කරන ලද බලපෑම් මත ඇති වන ප්‍රේම සබඳතා නිසා ද මියගිය බව ඇමැතිවරයා පැවසීය.

එපමණක් නොව නවකවදයට ගොදුරු වීම හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 5%ක් අබ්බගාතව සිටින බවත් තවත් 5%ක පිරිසකගේ මානසික මට්ටම පහළ බැස තිබෙන බවත් පර්යේෂණයකින් තහවුරු වී ඇති බවද ඒ මහතා කියා සිටියේ ය.

මේ වන විට විශ්වවිද්‍යාලවල පවතින්නේ නවකවදයක් නොව ඉතා පහත් මට්ටමේ හිංසන ක්‍රියාවක් බව ප්‍රකාශ කළ ග්‍රේරු මහතා, නවකවදය විශ්වවිද්‍යාල තුළින් තුරන් කර දැමීමට කඩිනම් පියවර ගන්නා බව ද අවධාරණය කළේය.‍

ඉතාම අතලොස්සක සිසු පිරිසක් නවකවදය ලබා දීමට යොමුවන බවත් ඔවුන්ට මානසික වශයෙන් බෙහෙත් කළ යුතුව තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා  "1998 අංක 20 දරණ පනත ගෙනාවේ විශ්වවිද්‍යාලවල නවකවදය ඉතා දරුණු වූ අවදියේයි. 

එම පනත අනුව නවකවදය ලබා දෙන්නන්ට වසර 20 දක්වා සිර දඩුවම් නියම කිරීමට හැකියාව තිබෙනවා. නවකවදය වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග රැසක් ද මෙහි තිබෙනවා. ඒ අනුව සිසුවකු විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේදී නවකවදයේ නොයෙදෙන බවට ලිපියකට අත්සන් ගැනීම සිදු කළ යුතුයි. නමුත් මේ දේවල් සිදු වන්නේ නැහැ. 

නවකවදය විශ්වවිද්‍යාලවලින් තුරන් කරන්නට විශ්වවිද්‍යාල බලධාරීන් ගන්නා ඕනෑම ක්‍රියාවලියකට ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ ඇතුළු රජයේ සියලුදෙනාගේම සහාය ලබා දෙනවා. මේ නවකවදය හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ අපකීර්තියට පත් විය හැකියි. 

අපි 2016 මුල ඉදලාම නවකවදය වැළැක්වීමට විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මේ සම්බන්ධයෙන් සමාජ කථිකාවතක් අවශ්‍යයි. උගත් සමාජයක, සංස්කෘතියට, ආගමට, දහමට නොගැළපෙන මේ පහත් ක්‍රියාවලියට තිත තිබිය යුතුමයි." යනුවෙන් ද පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මාහාචර්ය මොහාන් ද සිල්වා මහතා සහ මහාචර්ය ඒ.එස්.එම්. ගුණරත්න මහතා යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad