ධීවර පවුල් සඳහා ස්ථිර නිවාස හා ඉඩම් අයිතිය  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

ධීවර පවුල් සඳහා ස්ථිර නිවාස හා ඉඩම් අයිතිය 

මුලතිව් දිස්ත්‍රික්කයේ පාරම්පරික සිංහල ධීවර ගම්මාන දෙකක්වන නයාරු හා කෝකිලායි ගම්මාන දෙකේ කිසිදු පහසුකමක් නැතිව තම ධීවර කටයුතු කරගෙන යන ධීවර පවුල් සඳහා ස්ථිර නිවාස හා ඉඩම් අයිතිය ලබා දීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පසුගියදා නයාරු හා කෝකිලායි ධීවර ගම්මාන දෙකට ගිය අමාත්‍යවරයා එහි සිටින සිංහල ධීවර ජනතාව හමු වී ඔවුන් මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ය. තමන් වසර 50කට අධික කාලයක් තිස්සේ මෙම ගම්මාන දෙකේ ධීවර කටයුතු කළත් මෙතෙක් කිසිදු රජයක් තමන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකළ බව එහි දී එම ධීවර ජනතාව කියා සිටී.

මේ වනවිට නයාරු ගම්මානයේ ධීවර පවුල් 290ක් හා කෝකිලායි ගම්මානයේ පවුල් 300ක් සිටිති. මෙම ගම්මානවල අඛණ්ඩ ව ධීවර කටයුතු කරගෙන යාම සඳහා තමන්ට ස්ථිර නිවාස හා ඉඩම්වල අයිතිය ලබා දෙන ලෙස ඔවුන් අමාත්‍යවරයා වෙතින් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව අමාත්‍යවරයා විසින් ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම මුලතිව්හි ධීවර නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත.

නයාරු හා කෝකිලායි ගම්මානවල පමණක් නොව, සමස්තයක් වශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ සිංහල හා මුස්ලිම් සියලු ධීවර ජනතාව මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර සතියක් තුළ තමන්ට ලබා දෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත. 

මේ අතර මුලතිව් මුහුදට පැමිණෙන දකුණු ප්‍රදේශයේ ධීවර යාත්‍රාවලින් නීතිවිරෝධී ව කරන මසුන් ඇල්ලීම් හේතුවෙන් උද්ගත ව තිබෙන ගැටලු සහගත තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා එවැනි පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසත් මේ වනවිට ධීවර අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙන ලයිට් කෝස් ක්‍රමය භාවිතා කරන ධීවරයින් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූල ව පියවර ගන්නා ලෙසත් නාවික හමුදාවට උපදෙස් දී තිබේ.

එමෙන්ම මසුන් මැරීම සඳහා මා දැල් භාවිතා කිරිමේ දී ඇතැම් පුද්ගලයින් වෙරළට හානිවන පරිදි මහා ට්‍රැක්ටර් රථ යොදා ගනිමින් මාදැල් අදින බව වාර්තාවන බැවින් එම ක්‍රමය තහනම් කරන බවත්, එවැනි පුද්ගලයින් ද අත්අඩංගුවට ගන්නා ලෙසත් පොලිස් නිලධාරින්ට උපදෙස් දෙනු ලැබී ය.
එසේ ම නන්දිකඩාල් කලපුව හා නයාරු කළපුව ධීවර කළපු දෙකක් වශයෙන් සංවර්ධනය කිරීමට 2016 වසර තුළම පියවර ගන්නා බවත් ඔහු වැඩි දුටත් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad