වතුකරයේ තේ කර්මාන්ත ශාලා වසා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

වතුකරයේ තේ කර්මාන්ත ශාලා වසා දමයි

වතු කාර්ය මණ්ඩලය සේවා ස්ථානවලින් ඉවත් වෙයි. වතු කම්කරුවන් සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයේ තව දුරටත් රැඳී සිටී.

වතු කම්කරුවන් දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් ආරම්භ කර ඇති සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් වතු හාම්පුතුන්ගේ සංගමයේ නියෝගයක් මත දිවයින පුරා වතු සමාගම් 23 කට අයත් තේ කර්මාන්ත ශාලා සියල්ලක්ම අද (08) දින වසා දමා තිබේ.

එම තේ වතුයායවල්වල වතු කාර්ය මණ්ඩලය ද සේවාස්ථානවලින් ඉවත් වී තිබේ. වතුකම්කරුවෙකුට දැනට ගෙවන රුපියල් 485.00 මූලික වැටුපට අමුතේ දළු කිලෝ 15 - 20 අතර ප‍්‍රමණයක් නෙළිය යුතු ව ඇතත් සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් අදට දින 03 ක් දිනකට අමු තේ දළු කිලෝ 05ක් නෙළිම හේතුවෙන් තේ කර්මාන්ත ශාලාවල් වසාදමා වතු කර්ය මණ්ඩලය සේවාස්ථානවලින් ඉවත් කර ගැනීමට වතු පාලන අධිකාරිය කටයුතු කර තිබිණ.

ඊයේ (07) පස්වරුවේ හැටන්වැලිඔය වතුයායේ තේ කර්මාන්ත ශාලාව වසාදමා වතු කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීම හේතුවෙන් නෙලූ තේ දළු භාරදීමට නොහැකි ව වතු කම්කරුවන් දැඩි අසීරුතාවයකට පත් විය.

නෙලූ තේ දළු එම වතුයායේම තවත් වතු කම්කරුවෙකුට භාර දී ඔවුන් තේ කර්මාන්ත ශාලාවෙන් ඉවත් වූ අතර අද (08) දිනයේ තේ කර්මාන්ත ශාලාව වසාදමා වතු කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීමට වතු පාලන අධිකාරිය කටයුතු කළත් අද (08) දිනයේත් වතුකම් කරුවන් සුපුරුදු පරිදි තේ දළු නෙළිමේ කටයුතුවලට පැමිණ සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයේ නියැලී සිටින අයුරු අපට දක්නට ලැබුණා. 

වතු හාම්පුතුන්ගේ සංගමය අවධාරණය කර සිටින්නේ වතු කම්කරුවන් ඉල්ලන පරිදි රුපියල් දහසක දෛනික මූලික වැටුපක් ලබා දුන්නහොත් තේ කර්මාන්තය කඩා වැටීමේ අවධානමකට ලක්වන බවයි.

හැටන් - රංජිත් රාජපක්ෂ    

No comments:

Post a Comment

Post Bottom Ad