බැඳුම්කර ගනුදෙනුවට අධිපති අවස්ථා දෙකකදී ඇවිත් - දුරකථන සංවාද අපි ළඟ - ජවිපෙ හෙළිදරව්ව  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

බැඳුම්කර ගනුදෙනුවට අධිපති අවස්ථා දෙකකදී ඇවිත් - දුරකථන සංවාද අපි ළඟ - ජවිපෙ හෙළිදරව්ව 

මහ බැංකු අධිපතිවරයා පුද්ගලිකව අවස්ථා දෙකකදී මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට සහභාගි වී ඇති බවත් ඔහු වෙන්දේසි කමිටුවට අදාල පුද්ගලයෙකු නොවන නිසා ඔහුට වෙන්දේසිය පැවැත්වෙන ස්ථානයට ඇතුල්විය නොහැකි බවත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(02) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

මහ බැංකුවේ මහා මූල්‍ය වංචාවක් සිදුවුණු බවට කෝප් කමිටුවේ ලිඛිත සාක්ෂි තිබෙන බවත් ඒ ගැන දින සියයේ ආණ්ඩුවක් කරපු එජාපයේ මතය කුමක්ද යන්න සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රශ්න කරයි.
එහිදී එම මහ බැංකු මූල්‍ය වංචාව පිළිබඳ කරුණු අනාවරණ කළේය. 

‘මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර මූල්‍ය වංචාව පිළිබඳව කෝප් කමිටුවේ පරීක්‍ෂණයක් පැවැත්වුණා. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මුලින්ම රටට හෙළි කළේ ජනතා විමුක්ති පෙරමුණේ අපියි. ඉන් පසුව මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් අවශ්‍ය බව ආණ්ඩුවට අවධාරණය කළේත් අපියි. 

මෙම මූල්‍ය වංචාව පිළිබඳව අගමැතිවරයා විසින් පත්කළ ති‍්‍රපුද්ගල කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පදනම් කරගෙන ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ පරීක්‍ෂණයක් කළ යුතු බවට කථානායකවරයා විසින් තීරණය කළා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව තුළ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ යන අතරතුර ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරන්න පුළුවන්කමක් එහි සාමාජිකයන්ට නැහැ. 

කෝප් කමිටුවේ සාමාජිකයින් ලෙස අපි කෝප් කමිටුවේ තොරතුරු රටට ආවරණය නොකර සිටීමට බැඳී සිටිනවා. නමුත් මෙම පරීක්‍ෂණය ආරම්භයේදී අපි කියා සිටියා දේශපාලන වුවමනාවන්ට අනුව මෙම කෝප් කමිටුවේ වාර්තාව හරියට ඉදිරිපත් වුණේ නැත්නම් ඒ සම්බන්ධයෙන් සියලූ තොරතුරු රටට හෙළිදරව් කරනවා කියලා. 

මන්ද, අපි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් හැටියට පාර්ලිමේන්තුව හරහා රටේ ජනතාවට වගකියනවා. අපි වගකියන්නේ අපේ සහෝදර සහෝදරියන්ට, නෑදෑයන්ට, හිතමිතුරන්ට නොවේ. කෙසේ වෙතත් කෝප් කමිටුව මගින් පාර්ලිමේන්තුවට මෙම මූල්‍ය වංචාව පිළිබඳව නිවැරදි ලෙස කරුණු ඉදිරිපත් කිරීමට අසමත් වුණා. 

මොකද, සමහරු මෙම කෝප් කමිටුවේ වාර්තාව දිහා තමන්ගේ දේශපාලන පක්‍ෂ කෝණයෙන් බැලූවා.‘  ‘මෙම මූල්‍ය ගනුදෙනුවේදී කොයි තරම් දූෂණයක්, මූල්‍ය අක‍්‍රමිකතාවයක් සිදුවුණාද කියලා මේ රටේ බදු ගෙවන ජනතාවට සිදුවුණු විශාල හානියක් මට පෙන්වන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සියලූ වාර්තා මගේ ළඟ තියෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටුව දින 12ක් කැඳවලා තිබුණා. 

මහ බැංකු අධිපතිවරයා, මහ බැංකුවේ නිලධාරීන් මෙම බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ තැරැව්කරුවන්, ලංකා බැංකුව ඇතුළු අනෙකුත් මූල්‍ය ආයතනවලින් කෝප් කමිටුවේ සාමාජිකයින් විසින් අසන ලද වාචික ප‍්‍රශ්නවලට ලබාදුන් වාචික පිළිතුරු සහිත සාක්‍ෂි වාර්තා අපි ළඟ තිබෙනවා. මේ වාර්තාවලින් මෙම මූල්‍ය වංචාව ගැන රටට හෙළිදරව් කරන්න හැකියාව අපිට තිබෙනවා. 

මෙම මූල්‍ය ගනුදෙනුව පිළිබඳව සිදුකළ දුරකථන සංවාද පවා එම සමාගම්වලින් කෝප් කමිටුව මගින් ලබාගෙන තිබෙනවා. ඒ සියලූ තොරතුරු මෙම සාක්‍ෂි සටහන්වල තිබෙනවා. මෙම මූල්‍ය ගනුදෙනුවේදී අක‍්‍රමිකතාවයක් සිදුවෙලා නැහැ කියලා මහ බැංකු අධිපතිවරයා පත්කළ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්‍ෂයේ අය කියනවානම් ඒ අයට මේ වාර්තා කියවලා බලන්න පුළුවන්. 

මොකද, එම මූල්‍ය වංචාව මේ වනවිටත් කරුණු සහිතව ඔප්පු වෙලා ඉවරයි.‘  ‘ණය කළමනාකරණ කමිටුව 11 සිට 12.30 දක්වා සාකච්ඡා කරලා ලබාගන්නා මුදල් ප‍්‍රමාණය පොලිය සම්බන්ධයෙන් සාකච්චා කළා. එම කමිටුවේ අධිකාරී සාක්‍ෂි දෙනවා ඔවුන් විසින් විකල්ප යෝජනා 7ක් ඉදිරිපත් කර තිබුණු බව. නමුත් මහ බැංකු අධිපතිවරයා එම විකල්ප 7ම ප‍්‍රතික්‍ෂෙප කර තිබෙනවා. 

ඒ වෙනුවට අනුගමනය කරන්නේ මහ බැංකු අධිපතිවරයාගේ තීරණයයි. මහබැංකු අධිපතිවරයා උපදෙස් දුන් පරිදි රුපියල් මිලියන 10,000ක් ගන්න තීරණය කළ බව ණය කළමනාකරණ කමිටුවේ අධිකාරීතුමිය සාක්‍ෂි ලබාදී තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා පුද්ගලිකව අවස්ථා දෙකකදී මෙම ගනුදෙනුවට සහභාගි වී තිබෙනවා. ඔහු වෙන්දේසි කමිටුවට අදාල පුද්ගලයෙක් නෙවෙයි. 

ඒ අනුව ඔහුට වෙන්දේසිය පැවැත්වෙන ස්ථානයට ඇතුල්විය නොහැකියි. නමුත් 10.45ට මහබැංකු අධිපතිවරයා එම ස්ථානයේ රැඳීසිට තිබෙනවා. ඉදිරිත්වුණ ලංසු ඔහු විසින් පරීක්‍ෂාකර තිබෙනවා. මහබැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් වූ සියලූම ලංසු පිළිගන්න කියලා උපදෙස් ලබාදී තිබෙනවා. නමුත් අනෙකුත් නිළධාරීන් මූල්‍ය අර්බුදයක් පැන නැගිය හැකි බව පවසමින් එය ප‍්‍රතික්‍ෂේප කොට තිබෙනවා. 

එම නිසා රුපියල් මිලියන 10,058ක් ලබාගැනීමට අවසානයේ තීරණය වෙනවා. මෙම මූල්‍ය ගනුදෙනුව ස්වභාවිකව වුණේ නැහැ. මහ බැංකුව කියන්නේ අධිපතිවරයාගේ පෞද්ගලික ව්‍යාපාරයක් නෙවෙයි. ඔහු කටයුතු කර තිබෙන්නේ මහ බැංකුවේ ක‍්‍රමවේදයන්, නිල කටයුතු සියල්ල පැත්තකට දමලා.‘ යැයිද හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. 
‘මම කෝප් කමිටුවේදී ලංකා බැංකුවේ නිලධාරියෙකුගෙන් මේ පිළිබඳ ප‍්‍රශ්න කළා. 

ඔහු කියා සිටියේ මෙම ගනුදෙනුව පිළිබඳව තොරතුරු හෙළිදරව් වෙලා තියෙනව කියලා. පර්පචුවල් සමාගමට මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මෙතරම් විශ්වාසයක් හැදුනේ කොහොමද? මහ බැංකු අධිපතිවරයාගේ සම්බන්ධයක් තිබෙන බව ඉතාම පැහැදිලි වෙනවා. අදාල සමාගම මෙම මිලදී ගැනීම් කරන්නේ තමන්ගේ මුදල්වලින් නෙවෙයි. ලංකා බැංකුවේ මුදල්වලින්. ඒ කියන්නේ අපේ රටේ ජනතාවගේ මුදල්. ඉන් පසු මෙම සමාගම දෙවන ගනුදෙනුව සිදුකරනවා. 

ඒ අනුව එම සමාගම ලබාගත් බැඳුම්කර විවිධ පොලී අනුපාත යටතේ තවත් සමාගම්වලට විකුණනවා. අවුරුදු 30ක් යනකම් එම සමගමට මෙම බැඳුම්කර විකුණා ලාභ ලබන්න පුළුවන්. අපිට හිතාගන්න බැහැ කොයි තරම් මුදලක් පර්පචුවල් සමාගම හම්බ කරගන්නවාද කියලා. ලංකා බැංකුවට අං තට්ටුවක් පළන්දලා මහ බැංකු අධිපතිවරයාගේ බෑනා මුදල් හම්බ කරනවා. 

මෙම කි‍්‍රයාවලියට බැලූ බැල්මටම මහ බැංකු අධිපතිවරයා මැදිහත් වූ බව ඔප්පු වෙලා ඉවරයි. පොලී ඉහළ යාම මගින් මහ බැංකුවට පාඩුවක් වුණා. ඉහළ පොළී අනුපාත යටතේ බැඳුම්කර මිලදී ගැනීමට නොහැකි වූ නිසා ලංකා බැංකුවට අවාසියක් සිදු වුණා. මේ සියලූ දේ හරහා මේ රටේ මහජනතාවට විශාල පාඩුවක් ඇතිවෙලා තිබෙනවා.‘ යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසී ය. 

No comments:

Post a Comment

Post Bottom Ad