නිරෝගී වෙන්න "සුපර් 8" එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

නිරෝගී වෙන්න "සුපර් 8" එයි

ප්‍රජා සෞඛ්‍ය සේවාව මඟින් "සුපර් 8" සෞඛ්‍ය ඉලක්ක සපුරා ගැනීමෙන් නිරෝගී මිනිසෙක් බිහිකිරීමේ අවස්ථාව උදා වෙන බවත් එහි සමාරම්භක උත්සවය ජූලි 04 වැනිදා දවස පුරා කළුතර, බෝඹුවලදී සිදු කෙරෙන බවත් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසයි. 

ඇය මේ බව පැවසූවේ ඊයේ (30) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මහජන සෞඛ්‍යයට බලපාන කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විශේෂඥ වෛද්‍යවරිය එහිදී මෙසේද සඳහන් කළේය.
‘දියවැඩියාව, පිළිකා, අධිරුධිර පීඩනය, අංශභාගය, පපුවේ අමාරුව වැනි බෝනොවන රෝගවලට ලංකාවේ 70%ක් පමණ ගොදුරු වී සිටිනවා. මෙවැනි තත්ත්වයක් තුළ මනා සෞඛ්‍ය සම්පන්න ජීවන තත්වයක් පවත්වාගෙන යාමට නම්  සුපර් 8 සංකල්පයේ අඩංගු ඉලක්ක හොඳින් අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි.‘  

ශරීර ස්‌කන්ධ දර්ශකය (BMI) පාලනය කර ගැනීම, අධික ලුණු භාවිතයෙන් වැලකීම, අධික සීනි භාවිතයෙන් වැලකීම, දිනකට අවම වශයෙන් විනාඩි 30ක් සාමාන්‍ය ව්‍යායාමවල යෙදීම, දිනකට පලතුරු හා එළවළු වර්ග‌ 5ක්‌ ආහාරයට එක් කර ගැනීම, සංතෘප්ත මේද සහිත ආහාරවලින් වැලකීම, දුම්බීම හා මත්පැන් පානයෙන් වැලකී සිටීම, රුධිර පීඩනය 140/90ට අඩුවෙන් තබා ගැනීම සුපර් 8 හි අන්තර්ගත කරුණු බව ඇය සඳහන් කළාය. 

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ශරීර ස්‌කන්ධ දර්ශකය (BMI) මැනවින් පවත්වාගෙන යාම ඉතා වැදගත් වන නිසා එහි අගය 18.5 - 24.5 සීමාව තුළ පවත්වාගෙන යා යුතු අතර ස්‌කන්ධ දර්ශකයේ අගය 23 යන සීමාවේ පවත්වාගෙන යාම නිරෝගී ජීවන රටාවක්‌ සඳහා ඉතා වැදගත් වේ. 

ලුණු භාවිතයේදී දිනකට එක්‌ අයකුට තේ හැන්දකට වඩා ලුණු සුදුසු නොවේ. එනම් වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය තේ හැදි 01කි. 04 දෙනෙකු‌ සිටින පවුලකට ලුණු ග්‍රෑම් 400 පැකට්‌ටුව දින 20 ක්‌ පාවිච්චි කළ හැකියි.  දිනකට මිනිත්තු 30 බැගින් සතියකට දින 05ක්වත් වේගයෙන් ඇවිදීම, ක්‍රීඩා කිරීම, පිහිනීම, බයිසිකල් පැදීම ආදී ක්‍රියාකාරම්වල නිරතවීමත් සුපර් 08හි අන්තර්ගත තවත් එක් කරුණකි. 

තවද වෙළෙඳපොළේ විකිණිමට ඇති කෙටි කෑම, කේක් සහ නැවත නැවතත් භාවිත කළ තෙලෙන් පිළියෙළ කරන ලද ආහාරවල ට්‍රාන්ස් මේදය අඩංගු වීම හේතුවෙන් මේ නිසා හදවත් රෝග ඇති කරවන ට්‍රාන්ස්මේදය සහිත ආහාරවලින් වැලකීම නිරෝගී ජීවිතයකට අඩිතාලමක් සපයනු ඇති බව ද වෛද්‍ය පෙරේරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

No comments:

Post a Comment

Post Bottom Ad