මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි – මංගල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි – මංගල

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු දේශපාලන පක්ෂයක මැතිවරණ කටයුතුවලට සම්බන්ධ නොවී නිර්පාක්ෂිකව කටයුතු කිරීමේ එකඟතාවයක් පවතින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.

තමන් ලබා දුන් පොරොන්දු ඒ ආකාරයටම ඉටු කරන පුද්ගලයෙක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වන විටත් මුළු ලෝකයටම ආදර්ශයක් ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඒ අනුව එතුමා ඉදිරි මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයක වේදිකාවට ගොඩ නොවී කටයුතු කරනු ඇතැයි තමන්ට විශ්වාස බව සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දෙන බවට විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කොට තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින බොහෝ දෙනා ජනාධිපතිවරයාට විවිධාකාරයේ චෝදනා ඉදිරිපත් කරමින් ඔහු පරාජය කිරීමට කටයුතු කළ අවස්ථාවේ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට කිසිදු හානියක් වන ආකාරයෙන් ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයේදී කටයුතු නොකරනු ඇතැයි තමන්ට විශ්වාස බව අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ අමාත්‍යංශයේ කටයුතු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, තමන්ට භාර ගැනීමට සිදුවූයේ ලෝකයේ පිළිකුල් සහගත තත්වයකට පත් වූ විදේශ සේවයක් බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන තානාපති කාර්යාල 66 න් 32 කම සිටියේ දේශපාලන බලපෑම් මත පත් කරන ලද නුසුදුස්සන් බව පැවසූ අමාත්‍යවරයා, ඔවුන් වහාම යළි සියරට කැඳවා ඊට විදේශ සේවයේ පළපුරුදු නිලධාරීන් යොමු කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.

දේශපාලන පත්වීම් ලද දෙවන පෙළ හා තුන්වෙනි පෙළ තානාපති නිලධාරීන් තවමත් නැවත කැදවා නැත්තේ ඇයි දැයි විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ, සියළු දෙනා එකවර ඉවත් කිරීමෙන් තානාපති කාර්යාලවල කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වන බැවින් ඔවුන් ක්‍රමානුකුලව නැවත කැඳවන බවයි.

ලබන මස එළිදැක්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ යුද අපරාධ පරීක්ෂණ වාර්තාවට මුහුණ දීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේදැයි විමසූ විට විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, විශ්වසනීය අභ්‍යන්තර පරීක්ෂණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ මූලධර්මය යටතේ මේ වන විට සාකච්ඡා සිදුකරමින් සිටින බවයි.

යුද අපරාධ සම්බන්ධයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකු ජාත්‍යන්තර අධිකරණයට ගෙන යාමට ශ්‍රී ලංකාව ඉඩ නොතබන බවද අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේය.

යුද අපරාධ පරීක්ෂණයක් ඉල්ලමින් යෝජනාව ඉදිරිපත් කළ රටවල් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පැවසූ අමාත්‍යවරයා, දේශීය පරීක්ෂණයකට ඔවුන්ගේ සහාය ඉල්ලා සිටි බවත් සඳහන් කළේය.

ප්‍රායෝගික විදේශ ප්‍රතිපත්තියක් තිබේ නම් බටහිර ලෝකයට පිටුපෑමට නොහැකි බව පැවසූ අමාත්‍ය සමරවීර, වර්තමාන රජය ඉන්දියාවට ලැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට එල්ල වෙන චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

ඉන්දියාව සමග මෙන්ම චීනය සමගද සම්බන්ධතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ. මාර්තු මාසයේ චීනයේ සංචාරයක නියැලීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුල්වාදයට විරුද්ධව හඬ නගා වර්තමාන ජනාධිපතිවරයාගේ සොහොයුරකු අමාත්‍යවරයා යටතේ ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට පත්කිරීම පිළිබඳව සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ, අදාල තනතුර සඳහා අවශ්‍ය සියළු සුදුසුකම් ඔහු සතු බවයි.

– BBC

No comments:

Post a Comment

Post Bottom Ad