යහපාලනය ‘යකඩපොලූ පාලනයකට’ පෙරළුෑ ජෝන් අමරතුංග කැබ්නට් මණ්ඩලයෙන් ඉවත් කරන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

යහපාලනය ‘යකඩපොලූ පාලනයකට’ පෙරළුෑ ජෝන් අමරතුංග කැබ්නට් මණ්ඩලයෙන් ඉවත් කරන්න

වත්මන් ආණ්ඩුවේ ‘යහපාලන පොරොන්දුව’ කඩ කරමින් වත්තල ප‍්‍රාදේශීය සභාව තුළ ‘යකඩ පොලූ පාලනයකට’ සැරසුණු නීතිය හා මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නැයි ජාතික නිදහස් පෙරමුණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.

බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම කරන ලද්දේ එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතා විසිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා මෙසේද සඳහන් කළේය.

‘මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ යහපාලනයේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇත්ත නැත්ත අපි පැහැදිලි කළ යුතුයි. වත්තල ප‍්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට කඩා වැදුණු නීතිය සහ මහජන සාමය පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ මැර පිරිසක් එහි සභාපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන්ට එලව එලවා පහරදුන් අන්දම අපි මාධ්‍ය මගින් දුටුවා. 

වත්තල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පාලක පක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම එහි පාලන බලය ලබාගත්තේ වත්තල ජනතාවගේ ඡන්දයෙන්, නමුත් ජෝන් අමරතුංග මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබුණේ මහජන කැමැත්තට නොවෙයි. 

පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීධුර 49ක් තිබෙන එජාපය අග‍්‍රාමාත්‍ය ධුරය හා අමාත්‍ය ධුර ලබාගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව නොවෙයි. ඔවුන්ට ආණ්ඩු බලය ජනතා කැමැත්තෙන් ලැබී නැහැ.

මේ විදියට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විදියට ආණ්ඩු බලයත්, කැබිනට් අමාත්‍යධුරත් ලබාගත් එජාප ඇමතිවරු හැසිරෙන ආකාරය දැන් ඉතා පැහැදිලියි. ජෝන් අමරතුංග පොලිසිය භාර අමාත්‍යවරයා. ඔහු වත්තල ප‍්‍රාදේශීය සභා මාසික රැස්වීම පැවැත්වෙන දිනයේ එතැනට ගිහිල්ලා වෙනත් රැස්වීමක් පවත්වන්නේ ‘යහපාලනය කියලා දෙන්නද?’ 

නැතිනම් ‘පොලිස් ඇමතිකමේ රස්නය’ පෙන්වන්නද? ජෝන් අමරතුංග මහතා සිය ආධාරකරුවන්ට කියලා යනවා ‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු ආපුවාම ඔයගොල්ලෝ් හොඳට සලකන්න’ කියලා. ඒකද මේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය? යහපාලනය? 2001-2004 එජාප පාලන කාලයේ ජෝන් අමරතුංග මහතා මේ ඇමතිකමම අරගෙන එදත් මේ ආකාරයටම කටයුතු කළා. 

අද යකඩ පොලූවලින් පහර දී වත්තල ප‍්‍රාදේශීය සභාවේ එක් මන්ත‍්‍රීවරයකුගේ අත කඩා දමා තිබෙනවා රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩු බලයක් ගත් සෑම අවස්ථාවකම මෙවැනි තත්ත්වයන් රට තුළ උද්ගත වුණා. මේ තත්ත්වය නතර නොකළොත් අපි ‘සැබෑ යහපාලනය’ වෙනුවෙන් පාරට බහින්න සූදානම්.

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත ගෞරවනීය ස්වාමීන් වහන්සේ තවමත් කියනවා, ’අපේ අරමුණ සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ස්ථාපිත කිරීම’ කියලා. අපි උන්වහන්සේගෙන් අහනවා ‘ජනතා කැමැත්තෙන් තේරී පත් වූ ප‍්‍රාදේශීය සභාවක සභාපතිවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන්ට එහි මාසික රැස්වීමට කඩා පැනලා පහරදීම තුළින්ද සාධාරණ සාමාජයක් ගොඩනැගීමට යන්නේ?’ කියා. 

දිවුලපිටිය ප‍්‍රාදේශීය සභාව තුළත් මෙවැනි තත්ත්වයක් පැනනැගී තිබුණා. රට පුරාම අද මෙවැනි සිදුවීම් දැකගත හැකියි. ජනතා කැමැත්තෙන් තේරී පත් වූ පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ට සිදුකරන මෙවැනි ක‍්‍රියා ‘යහපාලනය’ ලෙසද අප සැලකිය යුත්තේ? ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ජනතාවට ලබාදුන් පොරොන්දුව යහපාලනය නම් මෙවැනි අමාත්‍යවරු ඔබතුමාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස අප ඉල්ලා සිටිනවා.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Post a Comment

Post Bottom Ad