සනත් ජයසූරිය, නිශාන්ත රණතුංග තමනට කල ලැජ්ජා නැති වැඩ සංගා හෙළි කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 1, 2015

සනත් ජයසූරිය, නිශාන්ත රණතුංග තමනට කල ලැජ්ජා නැති වැඩ සංගා හෙළි කරයි..

2013 වසරේදී පැවැති චැම්පියන්ස් ලීග තරගාවලිය හා තමන් අතර ඇතිවූ සිද්ධියට අදාළව කරුණු සලකා බැලීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් හා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේද ‍ඇතුළුව සියල්ලන්ම තමන්ව පීඩනයට ලක්කිරීමටත්, ජනතාව අතර තමන්ට ඇති ප්‍රසාදය නැති කිරීමට කටයුතු කළ බවත්, එය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් නැවත වරක් සංගා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියෙක් අතර විද්‍යුත් තැපැල් මාර්ගයෙන් දැඩි සංවාදයක් පවත්වා තිබෙන අතර, එහිදී සංගා මෙම අදහස් දක්වා තිබේ.

2013 වසරේදී පැවැති චැම්පියන්ස් ලීග පන්දුවාර විස්සයි 20 තරගාවලියේදී සිය ඉන්දියානු ප්‍රිමියර් ලීග තරගාවලියේ කණ්ඩායම වන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ලබාදුන් ලිපිය තමන්ට නොලැබුණ බවත්, එම ලිපිය ලැබුණු අයෙක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියා තමන්ට එම ලිපිය යොමු නොකළ බවත් කුමාර් සංගක්කාර සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ ලිපිය තමන්ට ඉතාමත් ඉක්මනින්ම යොමු කරන ලෙසට එම නිලධාරියාගෙන් සංගක්කාර විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගින් ඉල්ලා තිබේ.

දෙසැම්බර් 15දා ආරම්භ වන මෙම විද්‍යුත් තැපැල් සංවාදය ජනවාරි 21දා තෙක්ම දිවයන අතර, ඒ සඳහා කුමාර් සංගක්කාර හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිළධාරීන් කිහිපදෙනෙක් අතර සිදුව තිබෙන බව අනාවරණය වෙයි.


කෙසේ වෙතත් ජනවාරි මස 21දා තෙක්ම සංගාගේ ඉල්ලීම ඉටුකිරීමට එම නිලධාරියා කටයුතු කර නැති අතර අවසන් වරට ඔහු සංගාට පවසා තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අදාළ ලිපිය තමන්ට යොමුකරන ලෙස සඳහන් කළහොත් තමන්ට එම ලිපිය එවිය හැකි බවය.

කුමාර් සංගක්කාර තමන්ට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ඉහළ නිලධාරියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් අදහස් විමසන අතර ඔහු සඳහන් කරන්නේ ක්‍රීඩකයන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දීමට තමන්ට අවසරයක් නොමැති බවත්, කුමාර් සංගක්කාරට එවැනි ගැටලුවක් පවතීනම් මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සම්බන්ධකර ගත යුතු බවත්ය.

ප්‍රධාන විධායක නිලධාරිවරයාට ලිපියක් යොමුකරන ඉහළ නිලධාරියා සඳහන් කරන්නේ අදාළ ලිපිය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාරට තොරතුරු ලැබුණ ආකාරය හෙළිදරව් කළ යුතු බවයි.
නැවත වරක් ලිපියක් මගින් සංගා, එම නිලධාරියාගෙන් විමසා තිබෙන්නේ තමන් අසන්නේ ඉතාමත් සරල ප්‍රශ්නයක් බවත් ජාතික තේරීම් කමිටුව නිකුත් කළ ලිපිය තමන්ට නොඑවූයේ මන්ද යන්න බවයි.

එසේම අදාළ ලිපිය යොමු කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව තහවුරු කළ බවත් සංගා සඳහන් කරයි. මේ සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් නොකරන්නේ නම් තමන් නීති මගින් හා කාර්යාලයීය මට්ටමින් කටයුතු කරන බවත් සංගා සඳහන් කර තිබේ.

එම නිලධාරියා නැවත වරක් සංගාට ලිපියක් යොමුකරමින් පවසන්නේ තමන්ට ලිපියක් යොමු කළ බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කරන්නේ නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවයි.


එයට පිළිතුරු යොමුකරන සංගා සඳහන් කර තිබෙන්නේ, “මේ කරුණ ඔබ තව කෙනෙකුට යොමු කරන්නේ ඇයි ? මම අහන්නෙ ඉතාමත් පහසු ප්‍රශ්නයක්. ඒ තමයි මාව අයි.පී.එල්. කණ්ඩායමට නිදහස් කිරීමට අදාළ ලිපිය ඔබට ලැබුණාද?” යැයි යනුවෙනි.

එසේම 2014 වසරේ පැවැති තරගාවලියේදී ලසිත් මාලිංගට එම අයි.පී.එල්. කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නිදහස ලැබුණ බවත්, ඒ සඳහා අවසරය ඔහුගේ අතටම ලැබුණ බවත් සංගා පෙන්වාදී තිබේ. එසේම තමන් ගැන සඳහන් ලිපියක් නොලැබීමට හේතුව තමන්ට දැන ගත යුතු බවත් කාල්ටන් මහතා යමක් සැඟවීමට යන බවත් සංගා විමසා තිබේ.

තවත් ලිපියකින් කාල්ටන් මහතාට යොමු කරන සංගා පවසන්නේ තමන්ට තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට තීරණය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව කල්ගෙන තිබෙන බවත් ඒ හරහා ගැටලුව තවත් උත්සන්න කරන බවයි.

එසේම මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිශාන්ත රණතුංග මහතා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බවත් එසේ වුවත් චැම්පියන්ස් ලීගයට ක්‍රීඩා කළ අනෙකුත් ක්‍රීඩකයන් සඳහා එවැනි මාධ්‍ය සාකච්ඡා නොපැවැත්වූ බවත් සංගා පෙන්වාදී තිබේ.

නිශාන්ත රණතුංග හා සනත් ජයසූරිය යන මහත්වරුන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා තමන්ට පීඩනයක් එල්ල කළ බවත් සංගා එහිදී සඳහන් කර තිබේ. එසේම තමන්ට සල්ලි හා රට යන දෙකෙන් එකක් තෝරාගන්නා ලෙස ඔවුන් මාධ්‍ය හමුවේ සඳහන් කළ බවත් සංගා පවසා තිබේ.
නමුත් මෙවැනි පීඩනයක් අනෙකුත් ක්‍රීඩකයන්ට යොමු නොකළේ මන්ද යනුවෙනුත් සංගා විමසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් හා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේද ඇතුළුව සියල්ලන්ම හිතාමතාම තමන්ව පීඩනයට ලක්කිරීමටත්, ජනතාව අතර තමන්ට ඇති ප්‍රසාදය නැති කිරීමට කටයුතු කළ බවත් සඳහන් කර තිබෙන සංගා, එය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් පවසා තිබේ. එසේම මෙය දුෂ්ට ක්‍රියාවක් බවත් අදාළ පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ සලකා බැලීමේදී එවැනි දෙයක් සිදුනොවේ යැයි බලාපොරොත්තු විය නොහැකි බවත් සංගා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

– ADA

No comments:

Post a Comment

Post Bottom Ad