ඉබිගමනේ යන නිවාසකරණ වැඩපිළිවෙලකට ප්‍රතිපත්ති සහ සැලසුම් අවශ්‍ය නොවන බවත් වත්මන් නිවාසකරණ වැඩපිළිවෙල විශාල පිබිදීමකින් ඉදිරියට යන විට එහි අඩුපාඩු නිවැරදි කර වඩාත් ජනතාවාදී ගුණාත්මක වැඩපිළිවෙලක් බවට පත්කිරීමට, ප්‍රතිපත්ති රාමු හා ක්‍රියාකාරී සැලසුම් අත්‍යවශ්‍යය බව ඉදිකිරීම් , ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජාතික නිවාස ප්‍රතිපත්ති ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් පසුගියදා රාජගිරිය, ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ ජාතික නිවාස ප්‍රතිපත්තියක් හදන්න පීටර් කෙනමන් අමාත්‍යවරයාගේ කාලයේ සැළකිය යුතු උත්සාහයක් සිදුකර තිබුණා. එම උත්සාහය විධිමත්ව ඉදිරියට ගෙනියලා තිබුණෙ නැහැ.
ඊට පෙර එක් අවස්ථාවක ජාතික නිවාස ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර තිබුණා. රුපියල් මිලියන ගණනක් ඒ සඳහා වියදම් කරලා තිබුණා. නමුත් ඒ නිවාස ප්‍රතිපත්තිය එළිදැක්වීමට තරම් සුදුසු තත්ත්වයක තිබුණේ නැහැ.
ඒ අනුව අපි අමාත්‍යාංශයේ නිලධාරීන් හා බාහිර සම්පත් දායකයන් එකතුකරගෙන මිල මුදලට මේ කටයුත්ත සිදුකරනවා වෙනුවට එම විෂය පිළිබඳව ආදරය හා රැඳුණු හැඟීම විසින් පොළඹවන ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුය කියන ස්ථාවරයකට ආවා. ඒ අනුව ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා සාකච්ඡා වට 100 කට වඩා පැවැත්වුණා කිසිම මුදලක් වැයවුණේ නැහැ.
අමාත්‍යාංශ 25 කට වඩා මෙම කටයුත්තට සම්බන්ධ වුණා. පොදු ජනතාවගේ අදහස් මේ සඳහා ඇතුළත් කරනු ලැබුවා. පසුගිය ජනාවාස දිනයේදී එම නිවාස ප්‍රතිපත්තිය අංග සම්පූර්ණව අනුමත කරලා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනාවාස දින ජාතික උත්සවයේදී එළිදැක්වුවා. එම නිවාස ප්‍රතිපත්තිය එළිදක්වලා දින කිහිපයකට පසු ක්‍රියාකාරී සැලැස්මක් එළිදක්වන්න අපට හැකිවුණා.
එය කඩිනමින් සිදුකිරීමට හැකිවුණේ නිවාස ප්‍රතිපත්තිය සකස් කිරීමේ සකච්ඡාව ඇතුළේම ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ සාකච්ඡාවත් සමාන්තරව ක්‍රියාත්මක කරගෙන ගිය නිසා. ඒ නිසා ප්‍රතිපත්තිය සකස් කරලා ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට තව වසර ගණනාවක් වැය කරන්නේ නැතුව ප්‍රතිපත්තිය සකස්කර දින 14 ක් ඇතුළත ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමට අපට පුළුවන් වුණා.
ඒ වෙනුවෙන් දායකවුණු අමාත්‍යාංශ නිලධාරී මහත්ම මහත්මීන්ට මගේ ප්‍රසංශාව පළ කරනවා. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2012 ජන සංගනණ වාර්තාවේ පැහැදිලිව කියනවා 2011 දක්වා වූ සෑම වසරකම සාමාන්‍යයෙන් වර්ෂයකට නිවාස අලුතින් ඉදිවී තිබෙන්නේ රජයේ හෝ පෞද්ගලික දේපළ සංවර්ධන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන ආදී කවර ආකාරයකින් වුවත් නිවාස උපරිම 100,000 කට ආසන්න ප්‍රමාණයක් බව.
එම දත්ත අනුව 2011 වසරේදී තීරණාත්මක ප්‍රවණතාවයක් ඇතිවෙලා කියලා කියනවා. අවුරුද්දකට උපරිම ලක්ෂයක පමණ නිවාස ප්‍රමාණයක් ඉදිවෙලා තිබෙන මේ රටේ 2011 වසරේදී එම ප්‍රවණතාවය ලක්ෂ 4 කට ආසන්න නිවාස තොගයක් ඉදිවෙන රටක් බවට පරිවර්තනයවෙලා තියෙනවා. එය ඉබේ සිදුවුණේ නැහැ.
සාමාන්‍යයෙන් යුද්ධයක් කියලා කියන්නේ ඉලාස්ටික් දෙයක්. අපි දන්නවා ලෝකයේ බොහෝ යුද්ධ රබර්වලින් හදන ඒවා වගේ ඉවර වෙන්නේ නැහැ. සාම ගිවිසුම් ගහනවා ආයේ යුද්ධ කරනවා. ඒ වගේ ඉලාස්ටික් යුද්ධයක් අපේ රටේ තිබුණේ. ඒ ඉලාස්ටික් යුද්ධය අවුරුදු 4 න් අවසන් කළා. ඊට පස්සේ රට මෙතෙක් නොදැකපු අභියෝග ජයගැනීමේ අවස්ථාව ආවා.යුද්ධය අවසන් වීමේ නිහැඩියාව, නිස්කලංක බව ජාතියට නැගිටින්න අවස්ථාවක් දුන්නා.
2011 වසරේදී ලක්ෂ 4 කට ආසන්න නිවාස ඉදිකළා. නිවාසකරණය පිළිබදව උද්යෝගිමත් මතවාදයක් ගෙනාවා. බැංකු දායක කරගත්තා. බැංකුවල ඇපකරු වශයෙන් අපි කටයුතු කළා. ඒ විදිහට නිවාසකරණය පිළිබඳව උත්තේජනයක් සමාජය තුළ නිර්මාණය කළා.
ඒ සියල්ලේම ප්‍රතිඵලයක් හැටියට තමයි මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්තියේ නිවාසකරණය පිළිබඳ අභියෝගය ජයගනිමින් 2011 වසරේදී නිවාස ලක්ෂ 4 ක් පමණ තොගයක් සාමාන්‍යයෙන් වසරකට ඉදිවෙන රටක් බවට පරිවර්තනය වුණේ. නිවාසකරණය ඉබි ගමනෙන් යන විට අවශ්‍ය නොවන ප්‍රතිපත්ති වේගවත් ගමනක් යනවිට සකස් නොකළහොත් කොහේ ගිහින් හැප්පෙයිද කියලා දන්නේ නැහැ.
මේ වේගය අපට නවත්තන්න පුළුවන්ද? එය අපට නවත්වන්න බැහැ. ඒ නිසා එම වේගවත් ගමනේ අඩුපාඩු නිවැරදි කිරීමේ ප්‍රතිපත්ති රාමු හා ක්‍රියාකාරී සැලසුම් සකස් කළ යුතුයි. එය තමයි අද අපි සිදුකළේ.
දකුණු ආසියාතික කලාපයේ නිවාසකරණ අභියෝගය අඩුම බරක් තිබෙන රටක් හැටියට අද අපි ඉන්නේ එක්තරා සැළකිය යුතු ප්‍රශස්ථ ස්ථානයක.
මේ කලාපයේ අඩුම අවිධිමත් පැල්පත් නිවාස තිබෙන්නේ මේ රටේ. ඒ 123,000 පමණ පැල්පත් ප්‍රමාණයක්. එයින් පවුල් 60,000 ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ මෙහෙයවීම මත විධිමත් මහල් නිවාස පද්ධතියකට 2016 වසර අවසන්වීමට පෙර ගෙනියන්න කටයුතු කරනවා.
ඒ වගේම තමයි ආහාර අහිමි මිනිසුන්ගේ සංඛ්‍යාව ගත්තත් මේ කලාපයේ අඩුම සංඛ්‍යාවක් අපේ රටේ සිටින්නේ. විදුලි පරිභෝජනය අතින්, සෞඛ්‍ය, අධ්‍යාපනික ආදී බොහෝ ක්ෂේත්‍ර තුළින් දකුණු ආසියාතික කලාපයේ අපේ රට ඉදිරියෙන් සිටිනවා. අඟහරු ග්‍රහයා ගැන හොයන්න අභ්‍යවකාශ යානා යවන ඉන්දියාවේ අගමැතිතුමාට අද පාරට බැහැලා පාර අතුගාන්න සිදුවෙලා තියෙනවා, රට පිරිසිදුව තබාගැනීමට ආදර්ශ ලබාදීම සඳහා.
එදා උඩරට යුද්ධයේදී සුද්දන්ගෙන් බේරෙන්න කටයුතු කරපු පැලැන්තියට තමයි “බයියා” කියලා නමක් හැදුනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සතුරාට බය නැතිව මුහුණ දුන්නා. සතුරා සතුරා හැටියට පිළිගත්තා. සතුරාට තේරෙන භාෂාවෙන් ගනුදෙනු කළා. අපේ සමාජය අද දියුණුයි. එහෙම රටක ජාතික ප්‍රතිපත්ති නැතුව ඉදිරියට යන්න බැහැ.
එම ජාතික ප්‍රතිපත්තිය මත පදනම්වන ක්‍රියාකාරී සැලැස්මක් නැතුව ඉදිරියට යන්න බැහැ. මේ ප්‍රතිපත්ති විතරක් හැදෙන කාලයක් නෙවෙයි. නිවාසකරණයේ විප්ලවීය වෙනස සිදුවෙන කාලයක්. මහල් නිවාස හැදෙන, උතුරේ යුද්ධයෙන් අවතැන් වුණු ජනතාව නැවත පදිංචිකරවන, මේ රටේ රාජ්‍ය ආයතන වැඩි ප්‍රමාණයක් නිවසකරණයට ඇතුළත්වෙලා තියෙන කාලයක්.
අතීතයේ නිවාස අමාත්‍යාංශය විතරයි නිවාස කරණයේ යෙදිලා සිටියේ. අද අමාත්‍යාංශ විශාල සංඛ්‍යාවක් හා ආයතන රාශියක් එක රෑනට නිවාසකරණයේ යෙදෙනවා. ඒ නිසා තමයි නිවාස ප්‍රතිපත්තියක් හා සැලසුමක් අවශ්‍යය. එතකොට තමයි මේ කඳවුරු සියල්ල එකම ඉලක්කයක් දිහා බලාගෙන යන ගමනක් යන්න පුළුවන් වෙන්නේ.
විෂයභාර අමාත්‍යවරයා හැටියට අපට ඒ වගකීම තියෙනවා. ප්‍රතිපත්තියක් ක්‍රියාකාරී සැලැස්මක් මූලික එකඟතාවයක් අනුව සකස්කර ඒ රාමුව ඔස්සේ නිවාසකරණය ඉදිරියට ගෙනයාම අපට පැවරී තිබෙන වගකීමක්.
අද මේ රට අභියෝග ජයගෙන ඉදිරියට යන ගමන වැළැක්වීමට සමහරු බලනවා. එය වැළැක්වීමට රුධිරයෙන් බැඳුණ වගකීමක් අපට තිබෙනවා.
ඒ මේ රට බේරාගන්න දිවිදුන් රණවිරුවන් වෙනුවෙන්. ඒ අභියෝගය ජයගන්න අපි සෑම ක්ෂේත්‍රයකම ප්‍රතිපත්ති රාමු සකස් කරගෙන සාර්ථකව ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. නිවාසකරණයේ ඉලක්ක ගත වන ජන කණ්ඩායම් සියලුදෙනා අධ්‍යනය කරගෙන හඳුනාගැනීම වැදගත් කාරණයක් වෙනවා.
දිළිදු ජන කණ්ඩායම් හා අවිධිමත් ආදායම්ලාභීන් වැඩි ආදායමක් , ඉපැයූවත් ඒ අයට බැංකු සමඟ ගණුදෙනු කරන්න වැටුප් විස්තර නැහැ. නමුත් හොඳ ආදායමක් උපයනවා. මහාභිමානී සම්මාන උළෙලේදී ජයග්‍රහණ ලැබූ පින්තාරු ශිල්පීන්, පෙදරේරු ශිල්පීන්, කම්බි නැවුම් ශිල්පීන් මාසයකට ඉහළ ආදායමක් උපයන අය බව අප තහවුරු වුණා. නමුත් මේ අයට නව්‍යමය මැදිහත්වීමක් නැහැ. ඒ අය වෙනුවෙන් අපි අලුත් ප්‍රවේශයක් ගත යුතුයි.
ඒ අය අතහැරලා මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ අවිධිමත් ආදායම්ලාභීන් වෙනුවෙන් සැලකියයුතු අවධානයක් යොමුකර තිබෙනවා. මධ්‍යම පාන්තික ජන කණ්ඩායම්, ඉහළ ආදායම්ලාභීන්, කුලී නිවාස ගැන අපි වැඩි අවධානයක් යොමුකරලා තියෙනවා.
සහධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නීති කාලානුරූපීව සංශෝධනය වෙමින් තියෙනවා.ඒ වගේම ඒකාබද්ධ යටිතල පහසුකම් හා සේවා සැපයීම්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම්. ගොඩනැගිලි පහසුකම් හා ප්‍රමිතියෙන් යුතු ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීම් ආදී සෑම විෂය කරුණක්ම මෙහි අන්තර්ගතවෙලා තියෙනවා.
විවිධ විද්වතුන්ගේ ඇගයීම නිවාස ප්‍රතිපත්තිය පිළිබඳව පළකර තිබෙනවා. ලෝක බැංකුවේ විශේෂඥ “ ඉරි රෙඩිපෝ ” මහතා නිවාස ප්‍රතිපත්තිය අධ්‍යනය කර පසුගියදා ප්‍රකාශ කර තිබුණා නිවාස හා ජනාවාසකරණයේ දත්ත හා තොරතුරු පිළිබඳ සැලකිල්ලට ලක්කරමින් ඉතා හොඳින් සෑම කණ්ඩායමක්ම ආවරණය වන පරිදි මෙම ප්‍රතිපත්තිය සකස් කර තිබෙන බව.
අපට අවශ්‍ය වුණේ මේ මූලික රාමුව හදන්න. මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ සාමූහික ක්‍රියාදාමයක් හැටියට ඉදිරියට ගෙනගියොත් ” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙහිදී දේශනයක් පැවැත්වූ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන මහා නාහිමි “ මනුෂ්‍යයෙක්ට වටිනාම දෙයක් වන නිවාස ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රතිපත්ති, සැලසුම් ඉදිරිපත් කිරීම ඉතා හොඳ දෙයක්.
ජනතාවගේ නිවස ගැටලුව සමඟ සමාජයේ තිබෙන විවිධ ප්‍රශ්න විසඳීම විමල් වීරවංශ අමාත්‍යතුමාගේ නිවාස වැඩපිලිවෙළේ මූලික අරමුණ. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන වැඩපිලිවෙළක් බවට පත්කර නිවාස ගැටලුව සම්පූර්ණයෙන් විසඳීමට කටයුතු කළොත් මෙය රජය ලබාගත් විශාල ජයග්‍රහණයක් වෙනවා ” යනුවෙන් ද දේශනා කළහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා “ මහින්ද චින්තන ඉදිරි දැක්මේ නිවාස ක්ෂේත්‍රය පිළිබඳව බොහෝ කරුණු පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම ඉතා වැදගත්. ඒ අනුව තමයි විමල් වීරවංශ අමාත්‍යවරයා ජාතික නිවාස ප්‍රතිපත්තිය පමණක් නෙවෙයි එහි ක්‍රියාකාරී සැලැස්මත් ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙන්නේ.
එමඟින් රාජ්‍ය නිලධාරීන් සඳහා වගකීමක් පවරලා එම කාර්යභාරය ඉටු කරන්න කියලා පැවරීම මෙම ලියවිල්ලේ පෙන්නුම් කරලා තියෙනවා. මෙම ප්‍රතිපත්තිය නිවාස අමාත්‍යවරයාට පමණක් තනිව ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා අපි සියලුදෙනාට වගකීමක් තියෙනවා එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ” යනුවෙන් ද පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා “ මහින්ද චින්තන ප්‍රතිපත්ති මාලාවට අනුව ජාතික නිවාස ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම ඉතා වැදගත්.එම සැලැස්ම රටට ඉදිරිපත් කිරීම පිළිබඳව ඇමතිතුමා ඇතුළු නිලධාරීන්ට ස්තූතිවන්ත වෙනවා.
ඕනෑම ක්ෂේත්‍රයකට ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයයි. ප්‍රතිපත්තියක් නැතිව කටයුතු කරද්දි අපැහැදිලිතාවයන් ඇති වෙනවා.පැහැදිලි දර්ශනයක් හා පැහැදිලි ප්‍රතිපත්තියක් ක්ෂේත්‍රයක සාර්ථක ඉදිරියට යන්න අවශ්‍ය වෙනවා. වැඩසටහන් ක්‍රියාවට නංවන සැලසුම්, එවා ක්‍රියාවට නංවන ආකාරය ආදී සියලු තොරතුරු මෙම සැලැස්මේ අන්තර්ගත වෙනවා. එයින් පෙනී යන්නේ මෙම වැඩපිළිවෙල විශ්වාසයකින් නිවැරදිව සිදුවෙනවා.
ඒ අනුව නිවාස ක්ෂේත්‍රයේ ඉලක්ක කරා යන්න පුළුවන් කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ” යනුවෙන්ද පැවසීය. පසුගිය ඔක්තෝබර් 06 දින පැවැත්වූ ලෝක ජනාවස දිනයේදී ජාතික නිවාස ප්‍රතිපත්තිය එළි දක්වමින් එය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙත බාරදීම සිදුවිය.
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය වසර එකහමාරක කාලයක් තුල නිවාස හා ජනාවාස සංවර්ධනයේ නියුතු සියළු අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ මහජන අදහස් එක්රැස් කරමින් ජාතික නිවාස ප්‍රතිපත්තිය සකස් කරන ලදී.
එය ක්‍රියාකාරී වැඩසටහනක් බවට පත්කරලීම උදෙසා සකස් වූ ජාතික නිවාස ප්‍රතිපත්ති ක්‍රියාකාරී සැලැස්ම පසුගිය ඔක්තෝබර් 20 දින එළි දක්වමින් රජය විසින් අනුමතකර ඇති ජාතික නිවාස ප්‍රතිපත්තියට අනුකූලව මෙම ක්‍රියාකාරී සැලැස්ම සැකසුණි.ඒ සඳහා නිවාස හා ජනාවාස ක්ෂේත්‍රයේ නියුතු ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය ප්‍රමුඛ අමාත්‍යාංශ 25 දායකත්වය ලබාගෙන තිබේ.
මෙයට අමතරව මෙම සංවර්ධන කාර්යයේ නියුක්තවන රාජ්‍ය ආයතන 40ක් ජාතික නිවාස ප්‍රතිපත්තියේ ක්‍රියාකාරීත්වය උදෙසා හඳුනාගෙන ඇත.මේ සියළු අමාත්‍යාංශ හා ආයතන සමඟින් නිවාස හා ජනාවාස සංවර්ධනයේ නියුතු වෙනත් ආයතන සංවිධාන හා වෘත්තීයවේදීන් හා ජාත්‍යන්තර ආයතන නියෝජිතයින් ජාතික නිවාස ප්‍රතිපත්ති ක්‍රියාකාරී සැලසුම් වැඩමුළුව සඳහා සහභාගි විය.
මෙකී ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සඳහා වූ සියළු තීරණ ගනු ලබන අතර, 2015 වසරේ සිට මෙම ජාතික නිවාස ප්‍රතිපත්තිය පදනම්කොට ශ්‍රී ලංකාවේ ඉදිරි කාලීන නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිලිවෙළ ක්‍රියාත්මක කිරීම සිදුකරනු ඇත.
මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ජාතික නිවාස ප්‍රතිපත්ති ක්‍රියාකාරී සැලැස්ම බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන්ට ප්‍රදානය කරන ලදී.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍ය මහා සංඝසභාවේ මහානායක ධූරයෙන් ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ පිදුම් ලැබීමෙන් අනතුරුව සහභාගී වන පළමු වන රාජ්‍ය උත්සවය වශයෙන් මෙම අවස්ථාවට වැඩමකර සිටීම විශේෂත්වයකි.
ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රජ මහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන් වහන්සේ. ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කළහ.
– Con. media
lanka C news
No comments:
Post a Comment