පාකිස්තානු විශේෂ ගුවන් යානයක් කටුනායකට - සිරකරුවන් 43ක් රැගෙන යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 4, 2020

පාකිස්තානු විශේෂ ගුවන් යානයක් කටුනායකට - සිරකරුවන් 43ක් රැගෙන යයි

පාකිස්තානු විශේෂ ගුවන් යානයක් කටුනායකට - සිරකරුවන් 43ක් රැගෙන යයි

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය චෝදනා වලට වැරදිකරුවන් වී සිටි පාකිස්තානු ජාතික සිරකරුවන් 43 දෙනෙකු එරට රජයේ ඉල්ලීමක් මත, අද(04) අලුයම පාකිස්තානු විශේෂ ගුවන් යානයකින් ඉස්ලාමාබාද් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටුවහල් කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරියා පැවසීය.

මොවුන් ශ්‍රී ලංකාවේ මහාධිකරණ මගින් වැරදිකරුවන් වී විවිධ බන්ධනාගාර වල වසර 10 ක් 15 ක් තරම් කාලයක් සිර දඩුවම් විදිමින් සිටි පාකිස්තානු ජාතිකයන් පිරිසක් බවත් මොවුන් මෙලෙස පාකිස්තානය වෙත රැගෙන යෑමෙන් පසුව ද එරට බන්ධනාගාර තුළට යළිත් මොවුන් ඇතුළු කිරීමට නියමිත බවත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

පාකිස්තානු රජය විසින් මොවුන් රැගෙන යෑම සදහා එරට ආරක්ෂක නිලධාරීන් එක් සිරකරුවෙකුට දෙදෙනා බැගින් ආරක්ෂක නිලධාරීන් 86 දෙනෙකු සමග පාකිස්තානු ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ(03) දින රාත්‍රී 10.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බස් රථ කීපයක් මගින් මෙම පකිස්තානු ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් ද සමග මෙම පිරිස පිටුවහල් කිරීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණි.

එහිදී මෙම සිරකරුවන්ට අදාළ නඩු ලිපි ගොනු ද රැගෙනවිත්පාකිස්තානු ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබේ.

මෙම පාකිස්තානු සිරකරුවන් පිරිස රැගත් පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවයේ පී.කේ.- 9873 දරන විශේෂ ගුවන් යානය අද(04) අලුයම 4.00 ට කටුනායක ගුවන් තොටුපළෙන්, පකිස්තානයේ ඉස්ලාමාබාද් ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය.

  • කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපල

No comments:

Post a Comment

Post Bottom Ad