ලබන වැටුපට සාධාරණය ඉටුකරන්න - ජනපතිගෙන් ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

ලබන වැටුපට සාධාරණය ඉටුකරන්න - ජනපතිගෙන් ඉල්ලීමක්

ලබන වැටුපට සාධාරණය ඉටුකරන්න - ජනපතිගෙන් ඉල්ලීමක්

තමන් ලබන වැටුපට සාධාරණය ඉටුකරන්නැයි රාජ්‍ය සේවය සඳහා එක්වූ උපාධිධාරීන්ගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලයි.

සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රීයව දායකවන්නැයි ජනාධිපතිතුමා පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

රාජ්‍ය සේවයට වැටුප් උපයාදෙන කෘෂි සහ ධීවර වැනි ක්ෂේත්‍රවල නිරත ජනතාවට බරක් නොවී සාධාරණය ඉටුකරන්නැයි එතුමා අවධාරණය කළේය.

තම වෘත්තියේ ඉදිරි ගමන උදෙසා පශ්චාත් උපාධි, පරිගණක පුහුණුව සහ අදාළ ක්ෂේත්‍රවල වෙනත් රැකියා අවස්ථා දියුණු කර ගැනීම පත්වීම්ලාභීන්ගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ උපාධිධාරීන් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති උත්සවයක දීය.

ඒ අනුව රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177කි. ඉන් 38,760ක් කාන්තාවෝය.

රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172කි. උපාධිලාභීන් වර්ගීකරණයේදි අභ්‍යන්තර උපාධිය ලත් 29,156ක් සහ බාහිර උපාධිලාභීන් 20,322ක් පත්වීම් ලැබ සිටිති. භික්ෂුන් වහන්සේලා 1000කට ද පත්වීම් පිරිනැමිණ.

සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1839ක්, කළමනාකරණ 7278ක්, විද්‍යා 4494ක්, දේශීය වෛද්‍ය 143ක් සම සෞඛ්‍ය 161, පරිගණක තාක්ෂණය 989ක්, ඉංජිනේරු සහ නීති 233ක් සහ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීහු 1906ක් වෙති.

පත්විම්ලාභීහූ නායකත්ව, කුසලතා සහ ආකල්ප වර්ධන පුහුණුවකට යොමු කෙරෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

වසරක පුහුණුව අවසානයේ ග්‍රාමීය හා වතු පාසල්, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වාරි මාර්ග කාර්යාල, වනජීවි කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල්, ග්‍රාමීය රෝහල්, ඩිස්පැන්සරි, සුළු අපනයන භෝග කාර්යාල වැනි ග්‍රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ආයතන වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “රට වෙනුවෙන් වැඩ” සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිලාභීන් 50,000කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවද ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි 60,000ක් බඳවාගැනීමට රජය පසුව තීරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad