රටේ සම්පත් සියල්ල විකුණා දමා අත සෝදා ගැනීම පසුගිය රජයේ ප්‍රතිපත්තිය වුවත් මේ රටේ ජනතාවට, හෙට ඉපදෙන්න ඉන්න දරුවාට, පමණක් නොව අනාගතයේ ඉපදෙන දරුවන්ටද අයිති ජාතික සම්පත් ආරක්ෂා කිරීම තමන්ගේ ප්‍රතිපත්තිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එජාප පාලනයක් පැවති සෑම අවස්ථාවක දී මෙන්ම පසුගිය රජය සමයේ ද එජාපය රටේ සම්පත් විකිණීමට කටයුතු කළ අතර තම ආණ්ඩුවක් යටතේ සෑම විටම රටට සම්පත් බිහිකිරීමට කටයුතු කළ බව ඊයේ (22) පස්වරුවේ කුරුණෑගල, මහව, වැලියාය ගම්මානයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුවක් අමතමින් අගමැතිවරයා සඳහන් කලේය.
තම රජය යටතේ වරාය, ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග, ජල යෝජනාක්‍රම වැනි සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ ද පසුගිය රජය සමයේ රටේ සම්පත් විකිණීම ප්‍රතිපත්තිය වූ බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පසුගිය රජය සමයේ විකුණු සම්පත් අතර වරාය ප්‍රමුඛතාවයක් ගන්නා අතර තවත් බොහෝ සම්පත් විකිණීම සඳහා වෙනත් රටවල් සමග ගිවිසුම් අත්සන් කර තිබේ.
යම් ආණ්ඩුවක් රටවල් දෙකක් අතර ගිවිසුම් අත්සන් කළ විට නැවත පිහිටුවන ආණ්ඩුවකට එම ගිවිසුම් කඩාගෙන ඉදිරියට යාමට නොහැකි බවත් එවැනි අවස්ථාවකදී ජාත්‍යන්තර මත ගැටුම් ඇතිවී ශ්‍රී ලංකාව කොන් වන තත්ත්වයට පත්වන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
ජාතික සම්පත් මේ රටේ ජනතාවට හෙට ඉපදෙන්න ඉන්න දරුවන්ට සහ ඉදිරියට ඉපදෙන දරුවන්ට අයිති විය යුතු බව තම පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් එය රැකගැනීම සඳහා සියලු කැපවීම් කරන බවත් අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
දෙදහස් පහළොවේ තම රජය බිඳ දැමීමටත් ජයග්‍රහණය වැලැක්වීමටත් යම් යම් උදවිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිහිපත් කළ අගමැතිවරයා පසුගිය එජාප ආණ්ඩුව සමයේ විපක්ෂයක් වශයෙන් ශක්තිමත්ව කටයුතු කරමින් මැතිවරණයක් ලබා ගැනීමට සටන් කළ බව පෙන්වා දුන්නේ ය.
No comments:
Post a Comment