ආරුමුගන් තොන්ඩමන්ගේ අවසන් කටයුතු 31 වැනිදා නොර්වුඩ් ක්‍රීඩාංගණයේදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2020

ආරුමුගන් තොන්ඩමන්ගේ අවසන් කටයුතු 31 වැනිදා නොර්වුඩ් ක්‍රීඩාංගණයේදී

ආරුමුගන් තොන්ඩමන්ගේ අවසන් කටයුතු 31 වැනිදා නොර්වුඩ් ක්‍රීඩාංගණයේදී

හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මියගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් හිටපු අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 වැනිදා නොර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්.සත්‍යවේල් මහතා පැවසීය.

ඊයේ (26) දින පස්වරුවේ ආරුමුගන් තොන්ඩමන් මහතාට හදිසියේ ඇති වු හෘදයාබාධයක්  හේතුවෙන් තලංගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අභවප්‍රාප්ත වී තිබේ.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නිර්මාතෘ දිවන්ගත සෞම්‍යයමුර්ති තොන්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව 1999 වසරේදි  ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකත්වයට පත්විය.

1964.05.29 දින උපත ලැබූ තොන්ඩමන් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර  1994 වසරේ නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ අතර එදා සිට අද දක්වාම පැවති රජයන් වල විවිධ අමාත්‍ය ධූරයන් දැරීය.

අභාවප්‍රාප්ත වු තොන්ඩමන් මහතාගේ දේහය (27) දින දවස පුරා බත්තරමුල්ල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර (28) දින දේහය පාර්ලිමේන්තු සංකිර්ණය වෙත රැගෙන ගොස් එහි පැය කිහිපයක් තැන්පත් කර පසුව දේහය කොළඹ 03 මල්වත්ත පාරේ පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මූලස්ථානයේ තැන්පත් කර තැබීමට අවමංගල කමිටුව තීරණය කර ඇත.

(29) වැනිදා කොත්මලේ රම්බොඩ පිහිටි තොන්ඩමන් මහතාගේ නිවස වෙත දේහය රැගෙන විත් (30) වැනිදා දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මූලස්ථානය වෙත රැගෙන විත් (31) වැනිදා අවසන් කටයුතු නොර්වුඩ් ක්‍රිඩාංගණයේදී සිදු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසය සඳහන් කළේය.

තොන්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව වතුකරයේ කිසිදු වතු කම්කරුවෙකු අද (27) දිනයේ දෛනික රාජකාරි කටයුතු වලට වාර්තා නොකල අතර වතු කම්කරුවන් පදිංචි නිවාස වල සහ වතු මාර්ග වල සුදු කොඩි වලින් සරසා තොණ්ඩමන් මහතාට ගෞරව දැක්වීමට වතු කම්කරුවෝ කටයුතු කළහ.

 

No comments:

Post a Comment

Post Bottom Ad