සත්පත්තිනි වැවේ විසවූ දිය පානය කර මියයන සතුන් සංචාරක හෝටලවල කෑමට අරන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 8, 2018

සත්පත්තිනි වැවේ විසවූ දිය පානය කර මියයන සතුන් සංචාරක හෝටලවල කෑමට අරන්


සෝමාවතිය ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි නියඟය හේතුවෙන් සිඳීගොස් ඇති සත්පත්තිනි වැවේ දිය කඩිතිවල ඉතිරිවී ඇති ජලය පානය කිරීමට පැමිණි වන සතුන් විශාල සංඛ්‍යාවක් වස ශරීරගතවීමෙන් මියගොස්
ඇති බව වනජීවී නිලධාරීහු පවසති. දින කිහිපයක සිට මෙලෙස මියගිය සතුන්ගේ සිරුරු දක්නට ලැබෙන අතර ඒ හේතුවෙන් දැඩි දුර්ගන්ධයක්ද පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සැරිසරන මුවන්,ගෝනුන්, ඉත්තෑවන්, හාවුන් සහ විවිධ පක්‍ෂීන් මෙම විෂ

ජලය පානය කිරීමෙන් මියගොස් ඇත. ප්‍රදේශවාසීන් පවසන පරිදි ශරීරගත වීමෙන් මියයන සතුන්ගේ මස් අවට සංචාරක හෝටල්වලට දඩයම්කරුවන් අලෙවි කරන බවයි.එම සංචාරක හෝටල්වල මස් ආහාරයට ගැනීමෙන් විෂ ශරීරගත වී මරණය පවා සිදුවිය හැකි බවත් දඩයම්කරුවන් දියකඩිතිවලට යූරියා මිශ්‍රකර මෙම ජාවාරම සිදු කරන බවද පරික්ෂණවලින් අනාවරණය වී ඇති බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.

 මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ පොළොන්නරුව අඩවි වන නිලධාරී උපාලි කුලතුංග මහතාගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ මියගිය සතුන්ගේ සිරුරු නිරීක්ෂණය කළ බවත් එම සතුන් මියගොස් ඇත්තේ වස වර්ගයක් ශරීරගත වීමෙන් බවට සනාථ වී ඇති බවය.සත්පත්තිනි වැවේ ජලය පානය කර මියගිය වන සතුන්ගේ මස් තොගයක් මැදිරිගිරිය බුද්ධයාය ප්‍රදේශයේ නිවසක අලෙවි කිරීමට සූදානම් කර තිබියදී පුද්ගලයෙකු සමග 05 වෙනිදා අත්අඩංගුවට ගත් බවද කුලතුංග මහතා පැවැසීය.  මෙම සිද්ධිය පිළිබඳව අප මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් වයි.එම්. කරුණාරත්න මහතාගෙන් කළ විමසීමකදී පැවැසුවේ අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මගින් මේ පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බවයි.

-නිමල් ජයරත්න-

No comments:

Post a Comment

Post Bottom Ad