ටිටි වගේම මමත් දඟකාරයි - ඒත් ටිටි වගේ මම නම් ටිකක්වත් නපුරු නැහැ - Pabasara Madushani - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

ටිටි වගේම මමත් දඟකාරයි - ඒත් ටිටි වගේ මම නම් ටිකක්වත් නපුරු නැහැ - Pabasara Madushani

ටිටි වගේම මමත් දඟකාරයි
ඒත් ටිටි වගේ මම නම් ටිකක්වත් නපුරු නැහැ
-පබසරා මධුෂානි

පබසරා මධුෂානි මේ දිනවල විකාශය වන තව දුරයි ජීවිතේ, මුතුකුඩ, මෙඩිසිනා ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයකින්ම රූපවාහිනී ප්‍රේක්ෂකයන් හමුවට එන රංගන ශිල්පිනියකි. හාසේ‍යා්ත්පාදක රංගනයන්ද ඇතුළුව එකිනෙකට වෙනස් වූ චරිත රඟපෑමට තමන් සතුව තිබෙන හැකියාව මේ වනවිටත් පෙන්නුම් කර තිබෙන ඇය සිය රංගන දිවිය පිළිබඳව වැඩිදුර තොරතුරු කතාබහ කිරීමට මෙසේ සංවාදයට එක්වූවාය.

තව දුරයි ජීවිතේ ටෙලි නාට්‍යයේ ටිටි කියන්නේ ඔබ රඟපාන චරිත අතරින් වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමිවී තිබෙන චරිතයක් කීවොත් නිවැරදියි. මොන විදිහේ ප්‍රතිචාරද ඒ චරිතය වෙනුවෙන් ඔබට ලැබෙන්නේ?

පබසරා කියනවාට වඩා දැන් බොහෝ දෙනා මට කතා කරන්නේ ටිටි කියලයි. ඇත්තටම තව දුරයි ජීවිතේ ටිටි කියන චරිතයට පුළුවන් වුණා මගේ ජීවිතයත් ගොඩාක් දුර ගෙනියන්න. පබසරා කියන මාව නොදන්න අයටත් පබසරා ගැන හඳුන්වලා දුන් චරිතය තමයි ටිටි කියන්නේ.

එතකොට ටිටි කියන චරිතය සැබෑ ජීවිතේ පබසරාගෙන් වෙනස් වෙන්නේ කොහොමද?

ටිටි වගේම මමත් දඟකාරයි. ඒත් ටිටි වගේ මම නම් ටිකක්වත් නපුරු නැහැ. මම නපුරු වෙන්නේ රංගන ජීවිතයේදී විතරයි. මගෙන් හුඟක් අය අහනවා කොහොමද පබසරා ටෙලිනාට්‍යය වෙනුවෙන්වත් මෙච්චර නපුරු වුණේ කියලා.

මෙඩිසිනා ටෙලි නාට්‍යයේත් ඔබ නිරූපණය කරන්නේ හාසේ‍යා්ත්පාදක චරිතයක්. ඒ වගේම මුතුකුඩ ටෙලි නාට්‍යයේ ඔබ නිරූපණය කරන්නේ ගැමි චරිතයක්. මේ වගේ වෙනස් චරිත රඟපාන ඔබේ රංගන දිවියේ ඊළඟ බලා‍පොරොත්තුව මොකක්ද කියලා ඇහුවොත්?

මෙඩිසිනා වලින් මගේ හාස්‍ය රංගනයේ දක්ෂතා පෙන්වන්න මට පුළුවන් වුණා. ඒ වගේම මුතුකුඩ හරහා ගැමි යුවතියක් විදිහට මම චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් ඉදිරියට එනවා. මගේ සැබෑ ජීවිතයේ බාහිර ස්වරූපය, පාට කරපු කොණ්ඩා විලාසිතාව පවා එහෙමම වෙනසකට ලක්වුණේ මුතුකුඩ ටෙලි නාට්‍යයෙන්. මේ විදිහට විවිධ චරිත කරන මගේ ජීවිතයේ ලොකුම බලා‍පොරොත්තුව අහිංසක යුවතියකගේ චරිතයක් රඟපෑම. ඒ අවස්ථාව ලැබෙන තුරු මම හරිම ආශාවෙන් බලාගෙන ඉන්නවා.

ඕපාදූප කටකතා කියන්නේ අලුතින් ක්ෂේත්‍රයට එන ඕනෑම නිළියකට මුහුණ දෙන්න සිදුවෙන අභියෝගයක්. පබසරා ඒ අභියෝගයට මුහුණ දෙන්නේ මොන විදිහටද?

කලාවේ විතරක් ‍නෙවෙයි, වෙනත් ඕනෑතරම් ක්ෂේත්‍රවල අය ගැන ගොසිප් ඕනතරම් හැදෙනවා. හැබැයි රංගන ශිල්පිනියක් වුණාම ජනතාව අතරට ගියත් අවධානය යොමුවෙනවා වැඩි නිසා තමයි නිළියන් ගැන කතාවෙන ‍පොඩි දේවලුත් ලොකුවට ඉස්මතු වෙන්නේ.
හැබැයි අපි හරියට අපේ ගමන ගියොත් ඒ අභියෝගයට මුහුණ දීම ගැටලුවක් වෙන්නේ නැහැ.

පබසරාට නිළියක් වෙන්න මග විවර කරලා දුන්නේ නිවේදිකාව කියන භූමිකාව. ඒත් දැන් නිවේදන වෘත්තියෙන් ඔබ සමු අරගෙන නේද?

නිවේදන වෘත්තියට මම සමු දීලා නැහැ. මම ‍පොඩි විවේකයක් ගත්තා විතරයි. මොකද දැන් රංගන කටයුතුත් එක්ක මට නිවේදන කටයුතු සඳහා වෙලාව වෙන් කර ගන්න ටිකක් අපහසුයි. ඒත් නිළියක් වෙන්නට මග පෙන්වපු නිවේදනයට මම හැමදාමත් ආදරෙයි.

සමන්මලී නැලිගම

No comments:

Post a Comment

Post Bottom Ad