වමනේ දැමූ නිසා ගැබිණියකැයි කියා පාසලින් ඉවත් කළ සිසුවියට අවසානයේ සාධාරණය ඉටුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 8, 2017

වමනේ දැමූ නිසා ගැබිණියකැයි කියා පාසලින් ඉවත් කළ සිසුවියට අවසානයේ සාධාරණය ඉටුවේ

කුසට අහරක් නොමැතිව නිරාහාරව පාසලට පැමිණ සිටියදී වමනය ඇතිවීම නිසා ගැබ් ගෙන ඇතැයි අභූත චෝදනා නගමින් පසුගියදා පාසලෙන් ඉවත්කර දැමූ කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ සිසුවිය සිද්ධියෙන් මසකට පසු පෙරේදා (06දා) නැවත සිය පාසල් ගමන ආරම්භ කළේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාවද උදාකරගනිමිනි.

ඇයට එම පාසලේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී ඉගෙනීමටත් මසකට 3000 ක දීමනාවක් ලබාදීමටත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කටයුතු කරදී තිබේ. ගොවිතැනින් ජීවත්වන ඉතාම දරිද්‍ර පවුලක දැරියකවූ ඇයගේ නිවසේ අය දවසට එක් වේලක් පමණක් ආහාරයට ලබාගනිමින් ඉතා දුක් සහිත ජීවිතයක් ගතකරමින් සිටි බවද පසුගියදා වාර්තා විය. සිසුවියගේ දුප්පත් අසරණ මවට හා පියාට මෙම සිසුවිය සමඟ ජීවත් වන්නට හොඳ නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ පහක නිවාස ආධාරයක් ප්‍රදානය කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස කැමැත්ත පළකර තිබුණි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ අනුරාධපුර පිහිටි නිවෙසේ දී දැරියගේ ඉගෙනීම් කටයුතු සඳහා අවශ්‍ය පොත්පත්, පාසල් උපකරණ තොගයක් හා කුලී වැඩ කරමින් ජීවත්වන මවුපියන් හට වියළි ආහාර ඇතුළු භාණ්ඩ තොගයක්ද මින් දින කිහිපයකට පෙර පරිත්‍යාග කෙරිණි. මෙම දැරිය ගැබිනියකගැයි සැකකොට මඩාටුගම රේවත මහා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් වැඩිදුර සොයා බැලීමක් සිදු නොකොට එම පාසලෙන් නෙරපූ සිද්ධිය ආන්දෝලනයට ලක්වීමෙන් පසු මේ වනවිට එම විදුහල්පතිනිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර වැඩ තහනමට ලක්කර තිබේ.

අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ඉල්ලා සිටියේ  ‘මේ වගේ අවස්ථාවලදී මේ ආකාරයෙන් ක්ෂණික තීන්දු තීරණ ගන්න එපා කියා. මේ අපි හැමෝගෙම දරුවෝ. ඒ පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු වෙනවා යැයි මා සමස්ත විදහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා‘ඇය පැවසුවාය. දැරියගේ මව හඬා වැලෙපෙමින් සියලු උපකාර වලට ස්තූතිය පළ කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad