රන්ජන් පැන්නීම දිවුලපිටියේ ඒකාබද්ධ විපක්ෂ හා එජාප කුමන්ත්‍රණයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

රන්ජන් පැන්නීම දිවුලපිටියේ ඒකාබද්ධ විපක්ෂ හා එජාප කුමන්ත්‍රණයක්..

නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය එ.ජා.ප සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට හේතුව දිවුලපිටියේ එ.ජා.ප සහ ඒකබද්ධ විපක්ෂ දේශපාලන කුමන්ත්‍රණයක් බව මේ වන විට මනාව අනාවරණය වී ඇතැයි දිවුලපිටිය බහුවිනාශකාරී ක්‍රියාවන්ට එරෙහි ජනතා ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

මෙම හවුල් කුමන්ත්‍රණයට හේතුව දිවුලපිටිය ආසනයේ ඉවක් බවක් නොමැතිව සිදුවන බොරලු කඳු කැපීම්, පස් කැපීම්, අනවසර වැලි ගොඩදැමීම් වලට දිවුලපිටිය ආසනයේ ඒකාබද්ධ විපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ සෘජු සම්බන්ධයක් තිබීම යැයි ද එම සංවිධානය පෙන්වා දෙයි. එහි කැඳවුම්කරු ඩයස් සමරක්කොඩි මහතා ප්‍රකාශ කරනුයේ දිවුලපිටිය ආසනයේ බඩල්ගම, මැල්ලවගෙදර, රඹුටන්වත්ත ප්‍රදේශයේ මාඔය ඉවුරේ සිදුවන මහ පරිමාණ යාන්ත්‍රික වැලිගොඩ දැමීමක් එජාප ප්‍රබලයකුගේ පවුලේ ඥාතියකු විසින් සිදුකරන අතර ඒ සඳහා බැකෝ යන්ත්‍ර වැලි සේදීමේ යන්ත්‍ර සහ ජෙනරේටර් යන්‍ත්‍ර පවා යොදාගෙන ඇති බවය.

එහිදි පසුගිය කාලයේ දිවුලපිටිය ප්‍රදේශයේ පරිසර සංහාරය පිළිබඳව විමසුමක් කිරීම හේතුවෙන් එවක රන්ජන් රාමනායක මහතා එජාප ප්‍රබලයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වු බවක්ද තමන්ට දැනගන්නට ලැබී ඇතැයි සමරක්කොඩි මහතා කියයි. එමෙන්ම මාඔය ඉවුරේ භුමිය වැලිගොඩදැමීම සදහා අඩි 30ක් පමණ ගැඹුරට පොළව හරා ඇති බැවින් දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශය සහ මාඔය අතර භූ අභ්‍යන්තරික ජල හුවමාරුව ඇණහිටීමෙන් එම ප්‍රදේශයෙන් කාන්තාර ලක්ෂණ පහළවන බව දැන් පැහැදිලිවම දක්නට ඇතැයිද එම සංවිධානය පෙන්වාදෙයි.

තවද දිවුලපිටිය ආසනයේ අකරගම,බෝලගල පිටවත්ත,දෙහිගහපල්ලම, කටුනායකවත්ත, බලවල,හොරකඳවිල, දෙමටවත්ත ආදි ප්‍රදේශ වල ඇති බොරළු කඳු මහා පරිමාණයෙන් කපා ඉවත්කර ගැනීම දිවුලපිටියේ ඒකාබද්ධ විපක්ෂයේ සහ එජාප ප්‍රාදේශීය දේශපාලන නායකයකු වෙතින් සිදුවන අතර ඔවුන් සමග සෙසු එජාප සහ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් ද එක්ව සිටින බවත් රන්ජන් රාමනායක මහතා දිවුලපිටියෙන් ඉවත්කිරීම මේ පරිසර සංහාරකයන්ගේ පොදු අවශ්‍යතාවයක් බැවින් ඔවුන් මෙහිදී සාමුහිකව ක්‍රියා කර ඇතැයි එම සංවිධානය පවසයි.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා දිවුලපිටියෙන් ඉවත්කිරීමත් සමඟ ඉහත සදහන් මහාපරිමාණ පරිසර හානි දෙගුණතෙගුණවී පහතරට තෙත් කලාපයට අයත් සදාහරිත ප්‍රදේශයක් වන දිවුලපිටිය නොදුරේදීම ශුක්ෂ කාන්තාරයක් වන බවද පෙන්වා ඔවුහු පවසති.ඒ අනුව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තාමාන පරිසර අමාත්‍ය ධුරයද හොබවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දේශපාලන වාසි අවාසි නොතකා දිවුලපිටියේ සිදුවන අවනීතික මහා පරිමාණයේ පරිසර සංහාර මැඩලීමට වහා ඉදිරිපත් විය යුතු බවයි.

එසේ නොකළහොත් රන්ජන් රාමනායක මහතා දිවුලපිටියෙන් ඉවත්කිරීම නිසා ලත් ජවය හා පන්නරය මුල්කොට එම පරිසර සංහාරක ජාවාරම්කරුවන් දිවුලපිටියේ වාතය,පස,ජලය යන පාරිසරික සාධක බරපතල ලෙස දූෂණය කොට මුළු දිවුලපිටියම නිරුදක කතරක් බවට පත්කිරීම නොපමාව සිදුකරන බව එම සංවිධානය අවධාරණය කරයි.

දමයන්ති ගමගේ
– lakbima

No comments:

Post a Comment

Post Bottom Ad