මැයි දිනයට රැලි 23ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 1, 2017

මැයි දිනයට රැලි 23ක්

මැයි දිනයට රැලි 23ක්
ජාත්‍යන්තර කම්කරු දිනය හෙටට (1) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් සංවිධානය කරන කම්කරු දින සැමරුම් රැලි හා පෙළපාළි 23ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වේ. මෙවර මැයි දිනය වෙනුවෙන් වැඩිම රැලි ප්‍රමාණයක් කොළඹ දී පැවැත්වෙන අතර එම සංඛ්‍යාව 15 කි. 
        
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින සැමරුම‘එක මිටට හරි අතට‘ තේමාව යටතේ එම පක්ෂයේ සභාපති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පස්වරු2.00ට පැවැත්වෙන අතර එයට සහභාගී වන ජනතාව පෙළපාළි දෙකකින් ගැටඹේ ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය.           

මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය එම පක්ෂයේ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ‘දිනන ජනතාවගේ මැයි රැලිය‘ යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේ දී     පස්වරු3.00ට පැවැත්වෙන අතර එහි පෙළපාළිය මාළිගාවත්ත ප්‍රදේශයෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ‘වැඩබිම,ගොවිබිම, මව්බිම සුරකින නොනවතින අරගලය‘ තේමාව යටතේ ගාලූ මුවදොර පිටියේ දී පස්වරු 3.00ට ආරම්භ වන අතර පෙළපාළිය කොම්පඤ්ඤවීදිය මංසන්ධියෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.         

ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය ‘ආර්ථීක සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැලිය‘යන තේමාව යටතේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බී.ආර්.සී පිටියේ දී පස්වරු 4.00ට ආරම්භ වේ. මෙහි පෙළපාළිය දෙහිවල එස්. ද එස් ජයසිංහ පාසල් ක්‍රීඩාංගණයෙන් දහවල් 12.00ට ආරම්භවීමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානය මගින් පවත්වන මැයි දින රැලිය අම්පාර, අක්කරෙයිපත්තුවේ දී එහි නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙහි පෙළපාළිය අක්කාරෙයිපත්තු මාණික්ක පිල්ලෙයාර් කෝවිල අසලින් දහවල් 12.00ට ආරම්භ වන අතර රැලිය අක්කරෙයිපත්තු ආලේඅඩිවෙම්බු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මැයි රැලිය පැවත්වෙන්නේ කොළඹ විහාරමහ දේවි එළිමහන් රංග පීඨයේදී පක්ෂයේ නායක ඩියූ ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.

එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි රැලිය කොළඹ 14, කොස්ගස්හන්දියේදී පැවැත්වෙන අතර පෙළපාළිය සවස 2.30ට මීතොටමුල්ල රජයේ ගබඩා සංකිර්ණය අසලින් ආරම්භ කෙරේ. 


නව ලිබරල් ධනවාදයට, ජාතිවාදයට හා හවුල් දේශපාලනයට එරෙහිව කම්කරු ගොවි ආණ්ඩුවක් සඳහා යන තේමාව මුල් කරගනිමින්, එම පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් සිරිතුංග ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැලිය පිටකොටුව පෞද්ගලික බස් රථ නැවතුම්‍පොළ ඉදිරිපිටදී පැවැත්වෙන අතර එහි තේමාව “අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙළට එරෙහිව වැඩ කරන ජනතාවනි නැගිටිව්” මැයෙන් නම්කර තිබේ.

ලංකා සමසමාජ පක්ෂය, නව සමසමාජ පක්ෂය, ජාතික වෘත්තීය සමිති පෙරමුණ, නිදහසේ වේදිකාව. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කේන්ද්‍රය යන පක්ෂ සහ සංවිධාන එක්ව, මැයි දිනය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පවත්වන අතර එහි තේමාව “‍පොදු ජන අයිතීන් රකින, වැඩ කරන ජනතා අයිතීන් සුරකින, නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට එකාවන්ව පෙළ ගැසෙමු” මැයෙන් නම්කර තිබේ.

නිදහස් වෙළඳ කලාප සහ ‍පොදු සේවා සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික සහ ‍පොදු කම්කරු සංගමය (සී.එම්.යූ), ලංකා බැංකු සේවක සංගමය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති රැසක් එක්ව මැයි දින රැලිය කොම්පඤ්ඤ වීදිය, ස්ටැන්ලී ජෑන්ස් ක්‍රීඩාංගණයේදී පවත්වති.


ලංකා වතු සේවා සංගමයේ මැයි සැමැරුම හැටන් නගරයේ, ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර එහි තේමාව “ වැඩකරන පන්තිය දිනවන සටන් කරන ශ්‍රම බලකායක්” මැයෙන් නම්කර තිබේ. එම සංගමයේ සභාපති ධම්මික ජයවර්ධන, ප්‍රධාන ‍ලේකම් නාත් අමරසිංහ ඇතුළු සංගමයේ නායකයන් සහ දිවයින පුරා පිහිටි වතුවල කාර්ය මණ්ඩලය සාමාජිකයන් මෙයට සහභාගි වෙති.

දෙමළ ප්‍රගතිශිලී පෙරමුණේ මැයි රැලිය තලවකැ‍ලේදී කම්කරු ජාතික සංගමය, කඳුරට ජනතා පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂ ඒකාබද්ධව එම පක්ෂ නායකයන් සහ එහි සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.


ජාතික මහජන පක්ෂයේ මැයි රැලිය කුරුණෑගල රතු කුරුස සමාජ ශාලාවේදී පැවත්වෙන බව එහි ජාතික සංවිධායක රුසිරිපාල තෙන්නකෝන් මහතා පවසයි.

ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ මැයි දින රැස්වීම “ජාතීන් අතර එකමුතුව ශක්තිමත් කරන, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීම” යන තේමාව යටතේ අංක 37/36 ඒ. දරන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගම් මූලස්ථානයේදී පැවැත්වේ.


ලංකා කම්කරු පක්ෂය විසින් දිවංගත කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ජන්ම දිනය හා එම පක්ෂයේ මැයි දිනය සමරමින් කොළම 12, සෝන්ඩර්ස් පෙදෙස. එම ඒ.ඊ. ගුණසිංහ ප්‍රතිමාව අසලදී පැවැත්වේ.

සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය කරමින් හෙද පරිපූරක වෛද්‍ය අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ මැයි රැලිය 01 වෙනිදා පෙරවරු 10.00ට බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේදී පැවැත්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad