රුපියල් 150ක තුවක්කුව නිසා වසර 30ක් ලංකාවේ ලේ වගුරපු හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

රුපියල් 150ක තුවක්කුව නිසා වසර 30ක් ලංකාවේ ලේ වගුරපු හැටි

මැයි මාසය දෙමළ බෙදුම්වාදී අරගලයේ  විවිධ සිදුවීම්වලට සම්බන්ධ මාසයක් ලෙසින් සැලකිය හැකිය. යුදකාමී දෙමළ තරුණයන් පිරිසක් නැවත සංවිධානය වෙමින්
ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි කළේ 1976 මැයි මස 5 වැනිදාවකය.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශ දෙමළ ඊළාම් අඩවිය ලෙසින් නිර්මාණය කර ගතයුතු යැයි යෝජනා කරමින් උතුරේ ප‍්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙසින් යළි නාමකරණය වූයේ ද 1976 මැයි මස 14 වැනිදාවකය. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා මුලතිව් දිස්ති‍්‍රක්කයේදී එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවේද 2009 මැයි මාසයේය. එහෙයින් මැයි 15 සිට මැයි 18 යන දින හතර තීරණාත්මක සුවිශේෂි දින හතරක් ලෙස සඳහන් කිරීම වැදගත්ය.

2009 මැයි මස 19 වැනි දින දකුණු ආසියාවේ පැවැති දීර්ඝතම යුද්ධය නිමා වූයේ නන්දිකඩාල් ලෙසින් ප‍්‍රකට මුලතිව් කළපුවේදී එල්.ටී.ටී.ඊ. නායක තිරුවෙන්ගඩාම් වේළුපිල්ලෙයි ප‍්‍රභාකරන් මරණයට පත් කරමිනි. ඔහුගේ මළ සිරුර කළපු ඉවුරේ තිබී සොයාගත් බව සඳහන් නිල නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාමය සඳහා වූ අරගලය ව්‍යාප්ත වූයේ දේශපාලනික හා හමුදාමය පසුබිමක් තුළය. ඒ සඳහා කුඩා හා මහා පරිමාණ කණ්ඩායම් 34ක් පමණ දායක වූ බව පෙනී යයි. මෙම කණ්ඩායම් අතුරින් වේළුපිල්ලෙයි ප‍්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුතු වූ එල්.ටී.ටී.ඊ සංවිධානය අවසානය තෙක් තම අරගලය උදෙසා පෙනී සිටියේය.

තිරුමනි පවුල

ප‍්‍රභාකරන් උපත ලැබුවේ 1954 නොවැම්බර් මස 26 වැනිදාවකය. පිරිමි දරුවන් දෙදෙනකුගෙන් හා ගැහැනු දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලේ බාලයා වූයේ ඔහුය. කුඩා කාලයේ ආදරයට ඔහු හැඳින්වූයේ ‘තම්බි’ (මල්ලි) යන සුරතල් නමිනි. ඔහුගේ පියා වීරසාමි තිරුවෙන්ගඩාම් වේළුපිල්ලෙයි වූ අතර මව පාර්වතී පිල්ලෙයි නම් වූවාය. ඔහුගේ පවුල මුහුදුබඩ ප‍්‍රදේශයක් වූ වැල්වැටිතුරෙයිහි පදිංචිකරුවෝ වූහ. ඔවුහු ‘තිරුමනි කුඩුම්බන්’ නැතිනම් ‘තිරුමනි පවුල’ ලෙසින් ප‍්‍රකටව සිටි අතර එම ප‍්‍රදේශයේ ගෞරවයට පාත‍්‍ර වූ පවුලක් විය. වැල්වැටිතුරෙයි පිහිටි සුප‍්‍රකට සිවන් කෝවිල ඉදිකරනු ලැබුවේ මෙම පවුලේ ආදිතමයන් විසිනි.

ළමාවියේ ප‍්‍රභාකරන්ගේ පි‍්‍රයතම කී‍්‍රඩා වූයේ පාපන්දු, වොලිබෝල් හා බයිසිකල් පැදීමය. එහෙත් ඔහු කී‍්‍රඩාවේ දක්ෂයකු නොවූ හෙයින් පොතපත කියවීමට හා කි‍්‍රයාදාම චිත‍්‍රපට නැරඹීමට යොමු වූයේය. කුඩා අවදියේ පටන් ඔහු සත්ව හිංසකයෙක් විය. ලේනුන්, කටුස්සන්, කුඩා පක්ෂීන් ඔහුගේ කැටපොල පහරින් ගැලවුණේ නැත. ඔහුට පැහැදිලි මතකයක් තිබිණි. ඔහුගේ දෙනෙත නිතර දිදුලමින් තිබූ අතර කථාබහ කරන විට නිරතුරුව අවට බලමින් විමසිලිමත් ලෙස කථා කළේය.

ප‍්‍රභාකරන්ගේ දේශපාලනික ආකල්ප හා සිතිවිලි තීව‍්‍ර කරනු ලැබුවේ සමකාලීන සිදුවීම් හා පරිසරය ඇසුරිණි. 1958 දී ඇතිවූ දෙමළ විරෝධී සිදුවීම් පිළිබඳ ඇතැම් බිහිසුණු පුවත් ඔහු ඇසුවේ සිවු හැවිරිදි දරුවකු ලෙසිනි. දිනක් ප‍්‍රභාකරන්ගේ නිවසට පැමිණි කාන්තාවකගෙන් ඔහුට අමුතු පුවතක් අසන්නට ලැබිණි. ඇයගේ දෙපාවල පිළිස්සුම් කැළැල් තිබූ අතර ඒ පිළිබඳ කුතුහලයෙන් යුතු වූ දරුවාට දැනගත හැකි වූයේ ඇගේ නිවස සිංහල කලහකාරීන් පිරිසක් ගිනිතැබූ අවස්ථාවේ දෙපා පිළිස්සුණු බවයි. පානදුර නගරයේ බ‍්‍රාහ්මණ පූජකයකු ගිනි තබා මරා දැමුණු පුවතක් හා කුඩා දරුවකු තාර බැරලයකට විසි කළ පුවතක් ද ඔහුගේ කණ වැකී තිබිණි. මෙම පුවත් ඔහුගේ අනාගත දේශපාලන හා යුදකාමී මාර්ගය සකස් කළේය.

වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේ ජීවත් වීමද ප‍්‍රභාකරන් යුදකාමී මාවතකට යොමු කරවූයේය. වැල්වැටිතුරෙයි යනු හොර බඩු ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් වූ අතර එය එම ප‍්‍රදේශයේ උප සංස්කෘතියක් බවට පත්වී තිබිණි. නිදහසට පෙර කාලයේද ‘මොන්ටි කි‍්‍රයාන්විතය’ නමින් හැඳින්වුණු මෙහෙයුමක් මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන අනවසර සංක‍්‍රමණිකයන් හා හොරබඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් වූයේය.

මේ හේතුවෙන් වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේ හමුදා කඳවුරු ස්ථාපිත කෙරුණේ 1950 දසකයේ පටන්ය. ප‍්‍රදේශවාසීන් හා ආරක්ෂක කඳවුරු අතර විරෝධතා පැන නැගුණේ එතැන් සිටය. ප‍්‍රභාකරන් ඇතුළු වැල්වැටිතුරෙයි තරුණයන් අතර මෙම ආරක්ෂක කඳවුරු පිහිටුවීමට වගකිවයුතු කොළඹ පාලනය සමග දැඩි කෝපයක් නිර්මාණය වී තිබිණි.

වෙනුගෝපාල් මාස්ටර්

1960 දසකයේ අග භාගයේ සහ 70 දසකයේ මුල් භාගයේ ප‍්‍රභාකරන් දේශපාලනික වශයෙන් මුහුකුරා ගියේ මෙවැනි පසුබිමක් තුළය. කයිට්ස් මන්තී‍්‍රවරයාව සිටි වී. නවරත්නම් ෆෙඩරල් පක්ෂය ලෙසින් හැඳින්වූ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත් වූයේ මෙම වකවානුවේය. ෆෙඩරල් පක්ෂයේ ‘රත‍්‍රන් මොළකරුවා’ ලෙසින් හැඳින්වුණු නවරත්නම් 1968දී ‘තමිසාර් සුයාට්චි කසාගම්’ නොහොත් ‘දෙමළ ස්වයංපාලන පක්ෂය’ නමින් පක්ෂයක් නිර්මාණය කළේය. ‘ස්වයංපාලන’ යනුවෙන් අදහස් කෙරුණේ වෙනම රාජ්‍යයක් යන්නයි.

මෙම අවධියේ වෙනුගෝපාල් මාස්ටර් නම් ගුරුවරයකු ප‍්‍රභාකරන්ගේ මහත් ගෞරවයට පාත‍්‍රව සිටියේය. වෙනුගෝපාල් මාස්ටර්, නවරත්නම්ගේ අනුගාමිකයකු විය. ප‍්‍රභාකරන් ඇතුළු ඔහුගේ ශිෂ්‍යයෝ නවරත්නම්ගේ ස්වයං පාලන පක්ෂයේ බැතිමත් අනුගාමිකයන් බවට පත් වූයේ වෙනුගෝපාල් මාස්ටර්ගේ මගපෙන්වීමෙනි. ස්වයංපාලන පක්ෂය ‘විඩුතලෙයි’ (විමුක්තිය) නමින් පුවත්පතක් එළිදැක්වීය. නවරත්නම් ලියොන් යුරිස්ගේ ‘එක්සඩස්’ නවකථාවේ පරිවර්තනයක් කොටස් වශයෙන් එම පුවත්පතේ පළ කළේය. ඔහු එය පළ කළේ ‘නාමක්කෙන්ඩ්‍රෝරු නාඩු’ නොහොත් ‘අපේම රටක්’ යන ශීර්ෂයෙනි.

මෙම නවකථාව කියවීමෙන් ප‍්‍රමෝදයට පත් ප‍්‍රභාකරන් දෙමළ ජනයා උදෙසා වෙනම රාජ්‍යයක් බිහි කිරීමේ සිහිනය දකින්නට විය. 1970 මැතිවරණයෙන් දෙමළ ස්වයං පාලන පක්ෂය පරාජයට පත් විය. නවරත්නම් ඇතුළු පක්ෂයේ සියලූම අපේක්ෂකයෝ පරාජය ලබා සිටියහ. එහෙත් එම පක්ෂය විසින් වපුල ස්වයං පාලනය නම් බීජුවටය ප‍්‍රභාකරන්ගේ හදවතේ සහ මනසේ පැලවෙමින් තිබිණි. 1970 වසරේ හඳුන්වාදුන් ප‍්‍රමිතිකරණය හේතුවෙන් යාපනයේ දෙමළ තරුණ තරුණියෝ රැඩිකල්වාදීන් බවට පත්වෙමින් සිටියහ. ඔවුහු දෙමළ ශිෂ්‍ය ෆෙඩරේෂනය සහ දෙමළ තරුණ ෆෙඩරේෂනය පිහිටුවා ගත්තා. රැස්වීම් සහ පෙළපාලි පැවැත්විණි.

ප‍්‍රභාකරන්ද මෙම තරුණ රැළි හා රැස්වීම්වලට සහභාගී වූයේය. එහෙත් කෙටි කලකින්ම එකී රැස්වීම් හා අවිහිංසාවාදී විරෝධතා ඔහුට අප‍්‍රසන්න විය. ඔහු ඊශ‍්‍රායෙල හැගන්නා සහ ඉර්ගුන් ප‍්‍රබන්ධවලින් උද්වේගයට පත්ව සිටියේය. ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කළ හැක්කේ බලය පෙන්වීමෙන් බව ඔහු සිතුවා. ගිනි අවියක් මිලට ගෙන වෙඩි තැබීම පුහුණු වීම ඔහුගේ අරමුණ විය. සම්බන්ධන් නම් නමගිය මැරයෙක් පේදුරු තුඩුව ප‍්‍රදේශයේ වාසය කළ අතර ඔහු අනවසර ගිනි අවි වෙළඳාමේ නිරතව සිටියා. ප‍්‍රභාකරන් සම්බන්ධන් හමුවී ගිනි අවියක් ලබාගත හැකිදැයි විමසූ විට පරණ පිස්තෝලයක්  රුපියල් 150කට ලබාදීමට සම්බන්ධන් කැමති විය.

ප‍්‍රභාකරන් හා ඔහුගේ සගයෝ එම මුදල සෙවීමට වෙහෙසුණා. ඔවුන්ට එකතු කරගත හැකි වූයේ රුපියල් 40ක් පමණි. තම මස්සිනා විසින් ත්‍යාග කළ රන් මුදුවක් ප‍්‍රභාකරන් සතු විය. ඔහු එය අලෙවි කොට ගිනි අවිය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල සොයා ගත්තේය. ප‍්‍රභාකරන් තම ප‍්‍රථම ගිනිඅවිය මිලට ගත්තේ ඒ අයුරිනි. මනියම් නැතිනම් මනි නමින් ප‍්‍රභාකරන් රහසිගතව විශ‍්‍රාමික හමුදා භටයකුගෙන් ගිනි අවි පුහුණුව ලැබීය. මේ කාලයේ මෙම තරුණයා පිළිබඳ පොලිසියට ඉව වැටී තිබුණද පොලිසිය දැන සිටියේ මනී යන නම පමණක් හෙයින් පොලිස් ඇසට වැලි ගැසීමට ප‍්‍රභාකරන් සමත් විය.

දිනක ඔහු තම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා නිවසින් පිටව ගියා. පිටත්ව යෑමට පෙර නිවසේ තිබූ තම ඡායාරූප සියල්ල විනාශ කිරීමට ප‍්‍රභාකරන් වගබලා ගත්තා. ඔහුගේ නිවස පරීක්ෂා කළ පොලිසියට පාසල් විභාග සඳහා භාවිත කළ ප‍්‍රභාකරන්ගේ තැපැල් හැඳුනුම්පත් හැරුණු විට වෙනත් කිසිදු ඡායාරූපයක් සොයාගත නොහැකි වූයේ එහෙයිනි.

දෙමළ නව කොටි

ප‍්‍රභාකරන් තවත් සගයන් කිහිප දෙනකු හා එක්ව ‘නව දෙමළ කොටි’ නමින් සංවිධානයක් පිහිටුවා ගත්තේය. 60 දසකයේ මුල් භාගයේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ රැඩිකල් තරුණයකු වූ නුනාවිල්හි රාජරත්නම් දෙමළ අයිතීන් උදෙසා සටන් කරනු වස් ‘කොටි’ නමින් කණ්ඩායමක් පිහිටුවා ගත්තා. මෙම කණ්ඩායම කිසි දිනෙක ඉස්මතු වූයේ නැත. ප‍්‍රභාකරන් තම සංවිධානයට ‘කොටි’ යන්න උපයාගත්තේ මේ ඇසුරිණි. නව දෙමළ කොටි යන්නෙහි සංකේත නාමය ටී.එන්.ටී. යන්නය. එය පුපුරණ ද්‍රව්‍ය හැඳින්වීම සඳහාද භාවිත වූ සංකේත නාමය විය.

නව දෙමළ කොටි සංවිධානයේ නායකයා වූයේ කල්වියන්කාඩුහි තණබාලසිංහම් නොහොත් චෙට්ටිය. ටී.එන්.ටී. සංවිධානය පිළිබඳ පොලිසියට ඉව වැටී එහි සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා විට ප‍්‍රභාකරන් මුහුදු මගින් තමිල්නාඩුවට පලා ගියා. ඔහු නැවත මෙරට පැමිණියේ හැත්තෑව දසකයේය. ප‍්‍රභාකරන් ශ්‍රී ලංකාවේදී කිසි විටෙක අත්අඩංගුවට පත්වූයේ නැත. මේ අවධියේ උතුරේ සිටි තරුණ කණ්ඩායම් විවිධ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල නිරත වෙමින් සිටියා.

දෙමළ නව කොටි තම ප‍්‍රථම බිල්ල ලෙස 1975 ජුලි මාසයේ යාපනය හිටපු මන්තී‍්‍ර සහ පුරපතිවරයා වූ ඇල්ෆ‍්‍රඞ් දුරෙයිඅප්පා පොන්නාලෙයි වර්ධරාජාපෙරුමාල් (විෂ්ණු කෝවිල) කෝවිල අසලදී  ඝාතනය කළා. එම ඝාතනයට ප‍්‍රභාකරන් ඇතුළු තරුණයන් සිව්දෙනෙක් සහභාගී වූණා. ප‍්‍රභාකරන්ගේ අනාගත ඝාතන වැලක පළමු බිල්ල වූයේ දුරෙයිඅප්පාය. ටී.එන්.ටී.ය, එල්.ටී.ටී.ඊය බවට පරිවර්තනය වූයේ 1976 මැයි 5 වැනි දිනය. යාපන දිස්ත්‍රික්කයේ එක්තරා රහසිගත ස්ථානයකට රැස්වූ 40ක් 50ක් පමණ වූ තරුණ පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි කළා. එහි නායකයා වූයේ උමා මහේස්වරන්ය.

සන්නද්ධ නායකයා වූයේ ප‍්‍රභාකරන්ය. නව සංවිධානය මෙහෙයවීමට සහ තීන්දු ගැනීම සඳහා පස් දෙනකුගෙන් යුතු කමිටුවක් ස්ථාපිත කෙරිණි. උමා මහේස්වරන් සහ ප‍්‍රභාකරන් යන දෙදෙනාම මෙම කමිටුවේ සාමාජිකයෝ වූණා. එල්.ටී.ටී.ඊ.යේ මුඛ්‍ය අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර කලාපයේ වෙනම රාජ්‍යයක් නොහොත් දෙමළ ඊළාමය බිහිකරලීමය. ඔවුහු ඒ සඳහා ගරිල්ලා යුද ක‍්‍රමයට සමාන සන්නද්ධ අරගලයකට ප‍්‍රවිශ්ට වෙමින් සිටියා. සංවිධානය පිහිටුවා දින 09කට පසු එනම් 1976 මැයි 14 වැනි දින දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වඩුක්කොඩෙහිදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් වෙනම රාජ්‍යයක් යන සංකල්පය රැගත් යෝජනාවක් සම්මත කර ගත්තා.

1977 දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මැතිවරණයට තරග කළේ මෙකී බෙදුම්වාදී සංකල්පය පෙරටුකර ගනිමිනි. මැතිවරණය යනු ජනමත විමසුමක් බවද, තම පක්ෂයට ලබා දෙන ඡන්දය වෙනම රාජ්‍යයක් සඳහා වන වරමක් බවද ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රකාශයේ සඳහන් විය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ උතුරු නැගෙනහිර දෙපළාතේ විශාල ජයග‍්‍රහණයක් අත්පත් කරගත් අතර පාර්ලිමේන්තුවේ ආසන 18ක් දිනාගත හැකි විය. එම පක්ෂයේ මහ ලේකම් අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස පත් විය.

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අරමුණු සමාන බවක් පෙනී ගියද ප‍්‍රයෝගික වශයෙන් එසේ නොවීය. යම් පමණකට මධ්‍යස්ථ ප‍්‍රතිපත්තියක සිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ  දිස්ති‍්‍රක් සංවර්ධන සභා දෙමළ ඊළමය ස`දහා වන විකල්පයක්ය යන සම්මුතියකට හා එකඟතාවකට එළැඹී සිටියා. එහෙත් ‘කොල්ලන් ’ ලෙසින් හැඳින්වූ දෙමළ සන්නද්ධ තරුණයෝ මෙම ප‍්‍රතිපත්තිය ප‍්‍රතික්ෂේප කළ අතර තම අරමුණ ඉටුකර ගත හැකි වන්නේ සන්නද්ධ අරගලයකින් පමණක් බවට විශ්වාස කළා.

1983 දෙමළ විරෝධී කෝලාහලය නොහොත් කළු ජූලිය විසින් නිර්මාණය කළ වාතාවරණය, මධ්‍යස්ථ කණ්ඩායම හා සන්නද්ධ කණ්ඩායම තාවකාලිකව එකතු කරනු ලැබුවා. එල්.ටී.ටී.ඊ සංවිධානය දෙකඩ වූයේ මේ අතරතුරය. උමා මහේස්වරන් සමග විශාල පිරිසක් ප්ලොට් (දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය) නමින් නව සංවිධානයක් බිහිකර ගත්තා. එල්.ටී.ටී.ඊ.යේ සිටි නාගරාජා හා අයියර් වැන්නවුන් තමන්ගේම මාර්ග සොයා ගියා. එල්.ටී.ටී.ඊ.යේ සිටි ප‍්‍රභාකරන්ට හිතවත් අතලොස්සක් පමණ වූ සාමාජිකයන් පිරිසක් සංවිධානය හැර නොගොස් ප‍්‍රභාකරන් සමග රැඳුණා.

මෙම සිදුවීමෙන් කලකිරුණු ප‍්‍රභාකරන් මඳ කලකට ඉන්දියාවේ පදිංචියට ගියා. එම කාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය රැකගත්තේ සීලන්, මහත්තයා සහ රගු ඇතුළු පැරණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිපදෙනකු විසිනි.

තංගතුරෙයි සහ කුට්ටිමනී

තම සාමාජිකයන් විශාල පිරිසක් අහිමි වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය එක්තරා අවස්ථාවක තංගතුරෙයි සහ කුට්ටිමනීගේ නායකත්වයෙන් යුතු දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සමග සහයෝගයෙන් කටයුතු කළේ. එල්.ටී.ටී.ඊ. සංවිධානයත් ටෙලෝ සංවිධානයත් එක්කොට නව සංවිධානයක් බිහිකිරීම ප‍්‍රභාකරන්ගේ අරමුණ විය. 1981 ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ටෙලෝ නායකයන් වූ තංගතුරෙයි, කුට්ටිමනී සහ ජෙගන් අත්අඩංගුවට ගත් බැවින් නව සංවිධානයක් බිහිකිරීමේ සිහිනය යළිත් ඉරිතලා ගියා.

එල්ටී.ටී.ඊ.ය එහි නායකයා හා සන්නද්ධ නායකයා වූ ප‍්‍රභාකරන් යටතේ යළි කි‍්‍රයාත්මක වූ අතර පසුව චාල්ස් ඇන්තනි නොහොත් සීලන් සන්නද්ධ නායකයා ලෙස පත් විය. 1983 ජුලි මාසය වන විට එල්.ටී.ටී.ඊ. සංවිධානයට සිටියේ  පූර්ණ කාලීන සාමාජිකයන් 23 දෙනකු හා අර්ධකාලීන සාමාජිකයන් සත් දෙනකු පමණි. ඒ හැර සියලූ වයස්වලට අයත් සහයෝගය දක්වන්නන් විශාල පිරිසක් ද ඔවුන් වටා එක්ව සිටියා. 1983 ජුලි 23 වැනිදා තිරුනෙල්වේලියේදී එල්.ටී.ටී.ඊ.ය බිම්බෝම්බයක් අටවා සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීමට ඔවුන් සමත් වුණා. එය 1983 දෙමළ විරෝධී කෝලාහලය නිර්මාණය කිරීමට මග පෑදීය.

එම කෝලාහලය දෙමළ ඊළමක් සඳහා වන අරගලයට දායක වනු පිණිස දෙමළ තරුණ තරුණියන් විශාල පිරිසක් සන්නද්ධ කණ්ඩායම් වෙත ඇදී එන්නට මාවත නිර්මාණය වෙනවා. ඉන්දියාව මේ පිරිස පුහුණු කිරීමටත් ඔවුනට අවි ආයුධ ලබාදුන් අතර මෙම සන්නද්ධ කල්ලි අතරද ගැටුම් ඇතිවිය. අවසානයේ එල්.ටී.ටීඊ.ය සියල්ලන් අබිභවා නැගී සිටියේය. 1987 ජුලි 29 වැනි දින අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුම දෙමළ දේශපාලනය වෙනස් මාවතකට යොමු කරනු ලැබිණි.

එල්.ටී.ටී.ඊ.ය හැර අනෙකුත් දෙමළ දේශපාලන පක්ෂ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව බලය බෙදාහැරීමේ කි‍්‍රයාවලියට කැමැත්ත පළ කළා. එල්.ටි.ටී.ඊ.යද එයට අනුකූලත්වය දක්වන බවක් පෙන්වමින් අවි ස්වල්පයක් භාරදීමට කටයුතු කළ අතර දිරි ගැන්වීමක් ලෙස දිල්ලි රජය ලබා දුන් මාසික ගෙවීමද ලබා ගත්තා. එහෙත් පසු කාලයේ එම මාර්ගයෙන් ඉවත් වූ ඔවුහු තම සන්නද්ධ අරගලයේ දිගටම නිරත වූණා. පසුකාලයේ පත්වූ විවිධ රජයන් හා එල්.ටී.ටී.ඊ.ය අතර සාම සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණි. මෙම කිසිදු සාකච්ඡාවක් සාර්ථක නොවූ හෙයින් ශ්‍රී ලංකාව නොනවතින යුද්ධයක පැටලී තිබුණා.

මේ කාලයේ එල්.ටී.ටී.ඊ.ය විවිධ අංශවලින් සුවිශාල වර්ධනයක් අත්පත් කරගනිමින් සිටියේය. 1983 සංඛ්‍යා දෙකකට සීමා වූ එල්.ටී.ටී.ඊ. සාමාජික පිරිස 1987 වන විට සංඛ්‍යා පහක් දක්වා වර්ධනය වී තිබිණි. ලොව පුරා පැතිර සිටි දෙමළ ඩයස්පෝරාව සමග සබඳතා වර්ධනය කර ගැනීමට ඔවුන් සමත් වුණා. 1990 සිට උතුරු - නැගෙනහිර ප‍්‍රදේශ තම පාලනයට නතු කර ගැනීමට එල්.ටී.ටී.ඊ. සමත් විය. එල්.ටී.ටී.ඊ. පාලනයට නතු වූ ප‍්‍රදේශවල ඔවුන් තමන්ගේම පොලිස් ස්ථාන, උසාවි, දේශීය ආදායම් කාර්යාල, රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා, චිත‍්‍රපට ආයතන, පුවත්පත්, බැංකු, ආගමන විගමන කාර්යාල, ව්‍යාපාර හා ගොවිපළ මෙන්ම ඔවුන්ගේ නීති පද්ධතියක්ද පවත්වාගෙන ගියා.

සන්නද්ධ වශයෙන්ද ඔවුහු ස්ථාවරව සිටි අතර පාබල හමුදාව, කාන්තා බලකාය, කමාන්ඩෝ බලකාය මෙන්ම බිම් බෝම්බ ඇටවීම, මෝටාර් හා කාලතුවක්තු සේනාංක, ස්නයිපර් ස්නාංක සහ යුද ටැංකි නාශක බලකායන්ද නාවික හමුදාවක් හා ගුවන් හමුදාවක්ද නිර්මාණය කර ගැනීමට ඔවුනට හැකි වුණා. එහෙත් දෙමළ ඊළාම් රාජ්‍යය පිළිබ`ද සිහිනය 2009 මැයි මාසයේ බොඳවී ගියා.

ජාත්‍යන්තර ජාලය

දෙමළ ඩයස්පෝරාවේ සහායෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාත්‍යන්තර ජාලයක් නිර්මාණය කර ගෙන තිබුණා. ලොව පුරා පැතුරුණු මාධ්‍ය ජාල මගින් සංවිධානය පිළිබඳ පුළුල් ප‍්‍රචාර ගෙන ගිය අතර එමගින් විශාල වශයෙන් අරමුදල් රැස්කර ගැනීමට සමත් විය. ලොව පුරා පැතිරුණු මහා පරිමාණ ව්‍යාපාර ඔවුන් සතු විය. එල්.ටී.ටී.ඊ.ය සාර්ථකත්වය කරා ළඟා වුවද ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය පිරිහීමට පත් වුණා. පසුගාමී දෙමළ සමාජයක් නිර්මාණය කෙරිණි. එදා එල්.ටී.ටී.ඊ.ය අසන්නට අකමැති වූ සහ ප‍්‍රතික්ෂේප කළ නමුත් යථාර්ථවාදී සත්‍යය එය විය.

පළමු ලෝක යුද්ධය පැවැතියේ වසර හතරක් පමණි. දෙවැනි ලෝක යුද්ධය වසර හයකින් නිමාවිය. එහෙත් දෙමළ ඊළමක් සඳහා වූ යුද්ධය දසක ගණනක් ඇදී ගියේය. දෙමළ ජනතාව මරණය, වේදනාව, අවිශ්වාසය, අවතැන්වීම වැනි විෂම චක‍්‍රයක කොටස්කරුවෝ බවට පත්වුණා. එහි අවාසනාත්මකම ප‍්‍රතිඵලය වූයේ විශාල පිරිසක් රටහැර යෑමය. උතුරු නැගෙනහිර පළාත්වල ඉතිරි වූයේ සමස්ත දෙමළ ජනගහණයෙන් 48%ක් වැනි ප‍්‍රමාණයකි. එල්.ටී.ටී.ඊ.ය දෙමළ ජනයාගේ නැතිවී ගිය අයිතිවාසිකම් නැවත ලබාදීමට සාර්ථක අඩිතාලමක් දමා තිබුණේ නැත.

සූදු අන්තුවෙකු පරිද්දෙන් දෙමළ ඊළමක් සඳහා සමස්ත දෙමළ ජනතාවගේ ජීවිත උගසට තැබීමට ප‍්‍රභාකරන් කි‍්‍රයා කළේය. ඔහු හැසිරුණේ තම සොල්දාදුවන්හට යුද කිරීම හෝ මරණය තෝරා ගැනීම විනා වෙනත් විකල්පයක් ඉතිරි නොවන පරිද්දෙන් තමන්ගේ සියලූ බෝට්ටු විනාශ කළ ආක‍්‍රමණික ජනරාල්වරයකු පරිද්දෙනි. ඔහුට නැවත හැරී බැලීමක් නොවීය. මේ වන විට ප්‍රභාකරන් හෝ එල්.ටී.ටී.ඊ. සංවිධානය හෝ නොමැත්තේය. එහෙත් ඔහු විසින් දෙමළ ජනතාවට සිදු කළ මහා ව්‍යසනය බොහෝ කාලයක් ගතවන තෙක් නොමැකී පවතිනු ඇත.


උපුටා ගැනීම :  Channel4.lk

No comments:

Post a Comment

Post Bottom Ad