ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි එස්. පියසේන අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි එස්. පියසේන අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි එස්. පියසේන අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකු මෙන්ම ප්‍රවීණ ලේඛක එස්.පියසේන මහතා අද(05) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 94 වන වියේ පසුවූ ඔහු උදෑසන ආහාර ගනිමින් සිටියදී ඇතිවූ හදිසි රෝගාතුරවීමක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි වාර්තා වේ. 

දේහය දැනට හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

1922 නොවැම්බර් 14වැනිදා උපත ලැබූ ඔහු  94 වන උපන්දිනය සමරන විටද ජාතික ‍දිනපතා පුවත්පත් දෙකකට සෑම සිකුරාදාම දේශපාලන තීරු ලිපි දෙකක් සතිපතා ලියමින් සිටියේය.

සෙම්බුකුට්ටිගේ සේනාධීර පියසේනයන්ගේ බිරිය වූ සෝමා කරුණාතිලක මහත්මිය මීට වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූවාය.

පස්යොදුන් කෝරළයේ අලුත්ගම දේවගොඩ ග්‍රාමයේ ජන්ම ලාභය ලැබූ ඒ මහතා සිව්දරු පියකු විය. පියසේන මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. එහිදී ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන්ගෙන් සිංහල ඉගෙනගත් පියසේන මහතා පොල්වත්තේ බුද්ධදත්ත, ආනන්ද මෛත්‍රිය යන හිමිවරුන් සෙවණේ සිප්සතර ලබා ඇත.

ආනන්දයේ ඉගෙනුම ලැබීමෙන් පසු ඉන්දියාවේ කල්කටාවට ගොස් බීකොම් හැදැරූ අතර එහිදී වාමාංශික දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වී ට්‍රොස්කිවාදියකු විය.

ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ තම පියා නිසා ලංකාවේ වාමාංශික ව්‍යාපාර හා බැඳී දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ වැනි වාමාංශික නායකයන් ඇසුරු කළේය. එම පක්ෂයේ මුල්ම පුවත්පත වූ ජනශක්තිය ආරම්භ කිරීමේ පුරෝගාමියා වූයේද පියසේන මහතාය. සමස්ත ඉන්දීය ගුවන්විදුලියේ වසර 11ක් සේවය කළ පියසේන මහතා දෙවසරක් ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස ද රාජකාරී කළේය.

හිටපු ජනපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ප්‍රවෘත්ති ලේකම් ලෙසද කටයුතු කළ පියසේන මහතා එවකට අලෙවිය පහත වැටී තිබූ දවස, ලංකාදීප වැනි පුවත්පත්වල අලෙවිය කිහිප ගුණයකින් වැඩිකිරීමට දායක විය.

ශ්‍රී ලංකා පළමු පාර්ලිමේන්තුවේ පළමු සිංහල සමගාමී කතා පරිවර්තකයා වීමේ ගෞරවය දිනා ගන්නේ ද ඇස්. පියසේන මහතාය. ලංකා ගුවන්විදුලියේ රහස් පරීක්ෂක කථාවල පුරෝගාමියා වන්නේ ද ඒ මහතාය.

ඕස්ට්‍රේලියා පුරවැසිභාවය හිමි පියසේන මහතා සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි අතර මියයන විට හෝමාගම, පනාගොඩ රොමියෙල් මාවතේ ශාක්‍යසිංහාරාමය අසල නිවසේ ජීවත්ව සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad