රණවිරු දිනයට හමුදා පෙලපාළි වෙනුවට ජනතා සුබසිද්ධිය  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

රණවිරු දිනයට හමුදා පෙලපාළි වෙනුවට ජනතා සුබසිද්ධිය 

රණවිරු දිනය වෙනුවෙන් හමුදා පෙලපාළි වෙඩිමුර වෙනුවට ජනතාවගේ සුබසිද්ධිය මූලික කරගත යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා පවසයි.මැයි මස 08 වන දිනට යෙදෙන රණවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත කේන්ද්‍රකර ගනිමින් යාපනය නගරයේ අපිරිසිදු වී ඇති ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකිරීමට කටයුතු සූදානම් කරඇති බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අද (18) ආණ්ඩුකාර කාර්යාලයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කළේය.

යාපනය නගරය මේවන විට සම්පූර්ණයෙන් අපිරිසිදු තත්වයක පවතින බැවින් ආණ්ඩුකාර කාර්යාලය මැදිහත් වීමෙන් අපිරිසිදු වූ සියලූ ස්ථාන පිරිසිදු කරන බවත් හමුදා පෙලපාළි, වෙඩිමුර වෙනුවට ජනතාවගේ සුබසිද්ධිය මූලික කරගත යුතු බව ප‍්‍රකාශ කල ආණ්ඩුකාරවරයා මැයි 07 වැනි දින යාපනය නගරයේ සියලූම ඇළ මාර්ග, පොකුණු සහ ජලය රැඳී පවතින ස්ථාන සුද්ධ පවිත‍්‍ර කිරීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය.

මෙම කටයුත්ත සඳහා යාපනය මහ නගර සභාව, නාවික හමුදාව, යුධ හමුදාව විශේෂ කාර්යය භාරයක් ඉටුකරන අතර යුධ හමුදාව මගින් අවශ්‍ය ශ‍්‍රම දායකත්වය ලබාදෙන අතර නාවික හමුදාව මගින් අවශ්‍ය බෝට්ටු ලබාදෙනු ලබයි. සියලූම රජයේ ආයතන මේ සඳහා විශේෂ සහයෝගයක් ලබාදෙන අතර ප‍්‍රදේශය පුරා මාර්ග දෙපස පවිත‍්‍ර කිරීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ලබා ගනිමින් බාලදක්ෂ කණ්ඩායම් යෙදවීමට කටයුතු සූදානම් කර ඇත.

රණවිරු දිනය නිමිත්තෙන් හමුදා ස්මරණ උත්සවය මැයි මස 08 වැනි දින පලාලි ප‍්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර රණවිරු දිනය වෙනුවෙන් කයිතඩි ප‍්‍රදේශයේ පිහිටා ඇති වැඩිහිටි නිවාසයට හා ළමා නිවාසයට ආහාර වේලක් ලබාදීමටත් යාපනය ප‍්‍රදේශයේ පවිත‍්‍ර කිරීමේ කටයුතු සඳහා පැමිණෙන සියලූ දෙනාටම ආහාරපාන ලබාදීමටත් ආණ්ඩුකාර කාර්යාලය පියවර ගෙන ඇත. 

සීඝ‍්‍රයෙන් වර්ධනය වන ඩෙංගු වසංගතය තුරන් කිරීමට මෙම වැඩපිළිවෙල මහත් පිටිවහලක් වන බව ප‍්‍රකාශ කල උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මැයි මස 09 වැනි දින යාපනය මහ රෝහලේ ලේ දන්දීමේ ව්‍යාපාරයක්ද සිදු කරන බව ප‍්‍රකාශ කළේය. දේශපාලන භේදයකින් තොරව මෙම කටයුත්තට පැමිණෙන සියලූ දෙනා එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීමට අත්වැල් බැඳ ගන්නා ලෙස සියලූ දෙනාටම පොදු ආරාධනයක් කල උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ආරායින්කුලම් ප‍්‍රදේශයේ ඇවිදින මංතීරුවක් සකස් කිරීමටද යෝජනා කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad