කොළඹ දිස්‌ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා සඳහන් කළේ ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් කුණු කන්ද අසල දැඩි අවදානම් කලාප ලෙස නම් කළ ස්‌ථාන අවට පදිංචිව සිටි පිරිස මෙලෙස ඉවත් කළ බවයි.
කුණු කන්ද නායයෑමෙන් අවතැන් වූ පුද්ගලයන් දහසක් පමණ කොළොන්නාව ටෙරන්ස් සිල්වා විද්‍යාලයේ සිටින බව ද කුණු කන්ද නාය යෑමෙන් මේ වන විට නිවාස 80 කට පමණ පූර්ණ හා අර්ධ හානි සිදුවී ඇති බව අනාවරණය කරගෙන තිබෙන බව ද දිස්‌ත්‍රික් ලේකම්වරයා පැවසී ය. එම පිරිසට කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ ඉදිකර තිබෙන මහල් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදෙන බව ද නිවාස ලබාදෙන පිරිස නිල වශයෙන් හඳුනාගැනීම සඳහා ඊයේ දිස්‌ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් හා නිවාස හිමියන් අතර සාකච්ඡාවක් පැවති බව ද කන්නන්ගර මහතා පැවසී ය.
විනාශයට ලක්‌වූ නිවාස අතරින් ඇතැම් නිවාසවල පදිංචිකරුවන් කන්ද නායයෑමට පෙර වන්දි රැගෙන ඉවත් වී ඇති බවත් ඔවුන් හඳුනාගැනීම ද කළ යුතුව ඇති බවත් දිස්‌ත්‍රික් ලේකම්වරයා පැවසී ය. එමෙන්ම විනාශ වූ ඇතැම් නිවාසවල භාරකරුවන් ජීවතුන් අතර නොමැතිව වයස අවුරුදු 18 ට අඩු දරුවන් පමණක් ඉතිරිව සිටී නම් ඔවුන්ට භාරකරුවන් හරහා අධිකරණය මඟින් නිවාසවල හිමිකාරත්වය පැවරීම සිදුකළ යුතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
No comments:
Post a Comment