උණ්ඩ කැබලි ඇඟ තුළ තබාගෙන ජීවත්වෙන උතුරේ මිනිස්සු (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

උණ්ඩ කැබලි ඇඟ තුළ තබාගෙන ජීවත්වෙන උතුරේ මිනිස්සු (PHOTOS)

උණ්ඩ කැබලි ඇඟ තුළ තබාගෙන ජීවත්වෙන උතුරේ මිනිස්සු (PHOTOS)

උතුරේ පුද්ගලයින් 410 දෙනෙකු කාලතුවක්කු, මෝටාර් බෝම්බ හා වෙඩි උණ්ඩවල කැබලි ශරීරයේ තබාගෙන ජීවත්වන බවට පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ වව්නියා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා විසින් ඉදිරිපත් කර ඇති එම සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම සංඛ්‍යාවෙන් 113 ක් පාසල් සිසුන්ය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ තමන් දන්නා තරමින් මෙලෙස ශරීර අභ්‍යන්තරයේ උණ්ඩ කොටස් සහිතව 1000කට වැඩි පිරිසක් සිටින බවත් කිළිනොච්චිය, මුලතිව් හා මන්නාරම යන පළාත්වල සංඛ්‍යා දත්ත තවමත් ලැබී නොමැති බවත්ය.

මෙම පිරිස මේ වනවිටත් රෝගීන් බවට පත්ව සිටින නිසා වහාම රජය මැදිහත්වී ඔවුන්ට ප්‍රතිකාර කළ යුතුව ඇතැයි කී මන්ත්‍රීවරයා උතුරේ රෝහල්වල පහසුකම් නොමැති හෙයින් ඔවුන්ට බෝම්බ කැබලි ඉවත් කරගැනීම සදහා රුපියල් ලක්ෂ ගණනක් පෞද්ගලික රෝහල්වලට ගෙවීමට සිදුව ඇති බව ද පැවසීය.

මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයට අනුව වව්නියාවේ සාස්ත්‍රීකූලංකුලම පළාතට ගිය අප වාර්තාකරුට හමුවු පී.සාරිතා මහත්මිය කියාසිටියේ තම ඇස අසලත් කකුල්වල හා බෙල්ලේත් මෝටාර් උණ්ඩ කැබලි 07ක් ඇති බව වෛද්‍යවරුන් විසින් සොයාගෙන ඇති බවයි.

එමෙන්ම මෝටාර් ප්‍රහාරයක් නිසා තම දකුණු ඇස අහිමිවී ගොස් ඇති බව ද ඇය පැවසීය.

ශරීරයේ ඇති සෙසු මෝටාර් කැබලි ඉවත් කිරීමට වව්නියාව රෝහලේ පහසුකම් නොමැති හෙයින් තමන්ට කොළඹ ජාතික රෝහලට යන ලෙස වෛද්‍යවරු දැනුම් දුන්න ද ඒ සදහා වැයවන මුදල් සපයා ගැනීමට නොහැකි බව ඇය කියාසිටියාය.

පෞද්ගලික අරෝග්‍යශාලාවකදී ඇගේ ඇස අසල ඇති මෝටාර් කැබැල්ල ඉවත් කිරීමට රුපියල් 5,0000ක මුදලක් ඉල්ලා සිටි බවත් බෙහෙත් සදහා තවත් වෙනම මුදලක් අවශ්‍ය බවත් කී හෙයින් තමන් එම අදහස අතහැර දැමූ බවද ඇය පැවසීය.

වව්නියාවේ කූමාංකුලමේදී හමුවුණු එස්. කන්නන් මහතා ප්‍රකාශ කළේ තමන්ගේ කකුල් දෙකේ කාලතුවක්කු උණ්ඩ කැබලි 11ක් තිබී ඉන් 04ක් පමණක් ඉවත් කළ බවයි.

ඉතිරි කැබලි 07 ඉවත් කිරීමට වව්නියාව රෝහලේ පහසුකම් නොමැති නිසා වසර 09ක් තිස්සේ තමන් පීඩාවිදින බව කී ඔහු තමන්ට දැන් කිසිදු වැඩක් කිරීමට නොහැකි බවද කියාසිටියේය.

මොවුන් සියළුම දෙනා කියාසිටියේ යුද්ධයේදී දෙපාර්ශවය විසින් එල්ල කරගන්නා ලද ප්‍රහාරවලට තමන් මැදිවූ අවස්ථාවලදී ඔවුන් තුවාල ලැබූ බවයි.

එම ප්‍රහාර කවුරුන් විසින් එල්ල කරණ ලද ප්‍රහාරදැයි නිශ්චය වශයෙන්ම කිවනොහැකි බවද ඔවුහු කියා සිටියහ.

ඡායාරූප පහතින්.

දිනසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad